Main News

ජනාධිපතිවරණය කල් යයි ?

වර්තමාන ජනාධිපතිවරයාගේ ධූර කාලය නිමා වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සී.ඩී. ලේනව නමැති ව්‍යවසායකයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

මොරටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන ලේනව මහතා සිය පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් සහ නීතිපතිවරයා නම් කර ඇත.

සිය පෙත්සම මගින් ඔහු කියා සිටින්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් සිදු කළ සංශෝධනය හේතුවෙන් ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන දිනය පිළිබඳ යම් අපැහැදිලි බවක් මතුව ඇති බව ය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තේරී පත්වන ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 6 බව සඳහන් කර තිබුණ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 3 වන පරිච්ඡේදය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තිය සංශෝධනය කළ බව සඳහන් වුවද එතුළින් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ අවුරුදු 5න් ද එසේත් නැත්නම් 6න් ද යන කරුණ සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති බව පෙත්සම තුළින් පෙන්වා දී තිබේ.

ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ බලයේ සිටින ජනාධිපතිවරයාගේ නිල කාලය ද වසර 5ක් දක්වා අඩු කිරීමේදී එය ජනමත විචාරණයකට යොමු කළ යුතු වුවත් එසේ සිදුවී නැති බව පෙන්වා දී ඇති පෙත්සම්කරු ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 වන ව්‍යවස්ථාව අනුව නිසි පරිදි ජනමත විචාරණයක් නොපැවැත්වීමෙන් 30 (2) ව්‍යවස්ථාව නිසි පරිදි සම්මත වී නොමැති බව පැහැදිලි වන බව ද සඳහන් කොට ඇත.

මේ අනුව, ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ, අවුරුදු 5න් ද නැතිනම් අවුරුදු 6ක් ද යනුවෙන් ගැටලුවක් මතුවන බැවින් ඒ සඳහා අර්ථ නිරූපණයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපේක්ෂා කර තිබේ.

එමෙන් ම, ඔහු එහිදී සඳහන් කර ඇත්තේ, පෙත්සම්කරු එම ගැටලුව නිරාකරණය කරගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීම නුසුදුසු බව ත් අදාළ අර්ථ නිරූපණය ලබා දෙන තෙක් දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සම මගින් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *