හංසමාලිගේ වත්කම් ගැන සොයයි
සැක සහිත ලෙස උපයා ගත් මුදල්වලින් රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ මිල දී ගෙන ඇති බව කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගේ බැංකු ගිණුම් 19ක වාර්තා කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයට නියෝග කළේ ය.
පියුමි හංසමාලි නීති විරෝධී ආකාරයෙන් මුදල් උපයා ගෙන දේපළ මිල දී ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ත් ඉල්ලා ‘මගෙන් රටට සංවිධානයේ’ සභාපති සංජය මහවත්ත තම අංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා බැංකු 8කට අයත් ඇගේ ගිණුම් 19ක බැංකු වාර්තා කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය කළ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම විය.
කොළඹ හිල්ටන් රෙසිඩන්ට්හි පදිංචි පියුමි හංසමාලි රුපියල් ලක්ෂ 800ක් වටිනා රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිල දී ගැනීම හා කොළඹ 7 නිවාස සංකීර්ණයෙන් රුපියල් මිලියන 148ක් වටිනා නිවසක් මිල දී ගැනීම ඇතුළු කරුණු කාරණා රැසක් සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බව ද එම විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා හා උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් යන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.
2011 අංක 40 දරන පනතින් සංශෝධනය කළ 2006 අංක 6 දරන මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම විමර්ශන ආරම්භ කර ඇති බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරට ත් කරුණු දක්වමින් එම නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.
එම විමර්ශන අංශයේ නිලධාරීහු අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ ප්‍රගති වාර්තාවක් කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේ ය.
ජනප්‍රිය නිරූපිකාවක් වන පියුමි හංසමාලි නමැත්තියට අයත් මෙරට ප්‍රධාන පෙළේ බැංකු කිහිපයක පවත්වා ගෙන යන ගිණුම් 19ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ඊයේ (ජූනි 19) විමර්ශනයක් ආරම්භ කළේ ය.
ඒ, ඇය එම වත්කම් උපයාගත් ආකාරය හෙළි කිරීම සඳහා ය.
රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මේ සම්බන්ධයෙන් අධිකරණයෙන් අවසර ලබා ගෙන ඇතැයි ද සඳහන් ය.
අංක 15 නව කොළොන්නාව පාර, රාජගිරිය ලිපිනයේ පදිංචි පියුමි හංසමාලි ගෝමස් යන අය නිරූපිකාවක් වශයෙන් පෙනී සිට ඉතා කෙටි කාලයක් තුළදී නවීන පන්නයේ මෝටර් රථ සහ මහල් නිවාස මිල දී ගෙන විවිධ දේශපාලනඥයන් ඇසුරු කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බව ත් මෙලෙස වත්කම් මිල දී ගැනීම සඳහා මුදල් උපයා ගත් ආකාරය සහ ඇය යම් නීති විරෝධී ක්‍රියාවක් සිදු කර මෙම මුදල් උපයා ගැනීමක් සිදු කර තිබේ ද? යන්න සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව විමර්ශනයක් ආරම්භ කරන ලෙසට මැද්දෙගොඩ, ගුරුබැවිලාගම, බලන්ගොඩ ලිපිනයේ පදිංචි මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත යන අය නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂවරයා වෙත කරන ලද ලිඛිත පැමිණිල්ලට අනුව, එම කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර පවත්වා ගෙන යනු ලබන බවට අධිකරණයට දැනුම් දී තිබිණි.
මේ අනුව, පියුමි හංසමාලි ගෝමස් යන අය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේදී ඇය මිල දී ගෙන ඇති බවට අනාවරණය වූ රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාර්තා කැඳවා ඇති බව ත් එම රථය සත්‍ය වශයෙන් මිල දී ගත් මුදල සහ එම මුදල් ගෙවීම සිදු කළ ආකාරය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමට එම ජීප් රථයේ පෙර හිමිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ඇති බව ත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ ය.
මෙම රථය 2019 වසරේදී එංගලන්තයේ සිට මෙරටට ආනයනය කළ බව ත් රැගෙන පැමිණීමෙන් පසු එය විකිණීමට නොහැකි වූ බැවින් වාහන අංගණයේ නවතා තිබියදී ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ වාහනයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම රේන්ජ් රෝවර් රථය එම වසරේදී ඔහුගේ පරිහරණයට ලබා දී ඇති අතර නැවත 2021 වසරේදී එය ලබා දී ඇති බව ත් රථයේ පෙර හිමිකරුගේ ප්‍රකාශයේ සඳහන්ව ඇතැයි කියයි.
එලෙස වාහන අංගණයේ තිබූ එම රථය සම්බන්ධයෙන් වෙබ් අඩවි මගින් දැන්වීම් පළ කිරීමෙන් පසු පියුමි හංසමාලි සහ තවත් අයෙකු සමග පැමිණ රථය පරීක්ෂා කර රුපියල් ලක්ෂ 5ක අත්තිකාරම් මුදලක් සහ ලක්ෂ 50 බැගින් ලක්ෂ 100ක මුදලක් බැංකු ගිණුමක් වෙත වරින් වර තැන්පත් කර රුපියල් ලක්ෂ 400ක මුදලක් සඳහා ෆිනෑන්ස් ආයතනයකින් කල් බදු පහසුකමක් ලබා ගෙන රුපියල් ලක්ෂ 780ක මුදලකට එම ජීප් රිය මිල දී ගත් බව සඳහන් කරමින් රථයේ පෙර හිමිකරු ප්‍රකාශයක් ලබා දී ඇති බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කළේ ය.
මේ සම්බන්ධයෙන් එම ෆිනෑන්ස් ආයතනයේ අලෙවි විධායක නිලධාරියාගෙන් ප්‍රකාශයක් ද එම කොට්ඨාසය ලබා ගෙන ඇති අතර එය අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි කියයි.
මේ අතර, කොළඹ 7, වෝඩ් පෙදෙසේ ලිපිනයේ පිහිටි නිවාස සංකීර්ණයේ නිවසක් රුපියල් මිලියන 148ක මුදලකට මිල දී ගෙන ඇති බවට අනාවරණය වීමත් මත එම සමාගමේ ප්‍රධාන ගණකාධිකාරිවරියකගෙන් ද මෙම නිවස මිල දී ගැනීමට අදාළව හා මුදල් ගෙවීම් කටයුතු සිදු කළ ආකාරය සම්බන්ධයෙන් ද එම කොට්ඨාසය ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
ඒ අනුව, මෙම වත්කම් මිල දී ගැනීම සම්බන්ධයෙන් ඇයගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස සඳහන් කර ඇති ව්‍යාපාර සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරමින් පවතින බව එම කොට්ඨාසය අධිකරණයට වාර්තා කර ඇත.
එම නිරූපිකාව සහ සමීපතමයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකයන්ට අදාළව බැංකු 8ක ගිණුම් 19ක් ආරම්භ කර ඇති බව එම කොට්ඨාසය අධිකරණයට වාර්තා කර තිබිණි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ අධීක්ෂණය මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල්ගේ මෙහෙයවීම මත ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා ඇතුළු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශනය ආරම්භ කර තිබේ.
මව්බිම