රතු අතු අග, විකාරරූපී තරුණයෙකුගේ සිහිනය – හෙන්රි වර්ණකුලසූරිය
1983 වසරේ දී තිරගත වූ අන්ද්‍රේ තර්කොවුස්කිගේ “Nostalgia” චිත්‍රපටයේ අවසන් දර්ශනය මට සිහිපත් වේ.
එහිදී සිද්ධ වන්නේ විවෘත පරිසරයක ඇවිද යන රංගන ශිල්පියා අත ඇති දැල්වූ ඉටිපන්දම නිවෙන්න නොදී කිසියම් ඉලක්කයක් කරා ගමන් කිරීමය. සුළඟට ඉටිපන්දම නිවෙන්නේ නැති වෙන්නට එක අතකින් ආවරණය කරගෙන සූක්ෂමව අඩි තබමින් යන ගමන දෙස අපි දෑස් දල්වා බලා සිටිමු. කොයි මොහොතේ හෝ ඉටිපන්දම නිවී යාදෝයි යන සැක සංකාව අපේ සිත් තුළ ජනිත වන්නේ එසේ නොවේවා යන ප්‍රාර්ථනයක් සමඟය. එම දර්ශනය ආරම්භ වී මිනිත්තු 3 යි තත්පර 40 දී ඉටිපන්දම නිවී යයි. නළුවාට සිද්ධ වන්නේ එතෙක් තමන් ගමන් කළ දුර ආපසු පැමිණ ඉදිපන්දම දල්වාගෙන යළිත් ඉලක්කය කරා ගමන් කිරීමටය. එවර 9 වන විනාඩියේදී ඉටිපන්දම නිමෙන්නට ඉඩ නොදී රඳවා තබන්නට ඔහු සමත් වෙයි. අපි එවිට සැනසුම් සුසුමක් හෙලන්නෙමු.
“My Red Comrade” චිත්‍රපටයේ දැල්වූ ඉටිපන්දම් අතින් ගෙන මුහුණට ළං කරගෙන ඒවා රඳවනයක හෝ මේසය මත තබන්නේ නැතිව රඟපාන නළුවෙකු හා නිළියක දැකීමෙන් මට මෙම ජවනිකාව සිහිපත් විය.
මිනිත්තු නමයක් පුරා දිවෙන තනි පුද්ගලයෙකුගේ මන්දගාමී චලනයක් සහිත “Nostalgia” හි ජවනිකාව අයාසකර නොවූ එහෙත් කිසියම් ආතතියක් ඇති කිරීමට සමත් වූ ජවනිකාවක් වන අතර “My Red Comrade” හි ඉටිපන්දම මුහුණට ළංකොට අතේ තබා සිටින ජවනිකා ව්‍යාජය. නැරඹීමට වෙහෙසකරය. මට නිතර සිතුණේ රැවුලට ළං කොට ඉටිපන්දම අල්ලන්නේ නැතිව මේසෙ මත තියන්නට බැරි ඇයි කියාය.
මා “My Red Comrade” චිත්‍රපටය පිළිබඳ මගේ කියැවීම එසේ ආරම්භ කරන්නේ චිත්‍රපටයේ ධනාත්මක ගුණාංග මෙන්ම ආඛ්‍යානය බිඳ වැටෙන අවස්ථා ගැන ද සාකච්ඡාවක් ඇරඹීම සඳහාය.
මා මෙම චිත්‍රපටය කියවන්නේ එහි අධ්‍යක්ෂ සුදත් මහදිවුල් වැව මීට වසර 19 කට පෙර “සුදු කළු සහ අළු” නමින් වෙනස් මාදිලියක චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ බව, ඔහු නැවතත් චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ වසර 19 කට පසුව බව, ඒ කාලය අතරතුර සිනමාව හදාරන විද්‍යාර්ථීන් හට දැනුම ලබාදුන් දක්ෂ ගුරුවරයකු බව හා ඔහු සිනමාව පිළිබඳ ඉහළ පරිචයකින් යුතු බව නොසලකාය.
එසේම චිත්‍රපටය අඩු වියදමකින් හා දින හතරකින් රූගත කිරීම මෙන්ම එහි දර්ශන වැඩි ප්‍රමාණයක් කාමරයක බිත්ති හතර මැද අසීරු ලෙස රූ ගත කළ බවද මෙම අදහස් දැක්වීමට බාධාවක් කරගන්නේ නැත.
ඒවා අතුරු කාරණාය. මා කියවන්නේ දෙවරක් මා ඉදිරියේ සිනමා තිරයක දිග හැරුණු රූපාවලිය හා ඊට සමගාමී හඬපටය වෙත පමණක් අවධානයට යොමු කරමිනි.
ඒ මගේ ප්‍රවේශයයි.
“My Red Comrade” කතා කළ යුතු සංවාදයට බඳුන් විය යුතු ශෛලියකින් යුතු චිත්‍රපටයකි. එය 88-89 දේශපාලන යුගය හා එහි නියෝජිතයකුගේ චර්යාරටා පාදක කරගන්නා බව සඳහන් වේ. මේ චිත්‍රපටය එකී යුගයට අදාළ බව අප දැනගන්නේ එවන් දෙබස් කණ්ඩයකින් විනා කිසිදු රූප රාමුවකින් නොවේ.
87-90 (ඒ මගේ හැඳින්වීමයි.) ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල පාදක කරගන්නා විට කිසියම් නිර්මාණකරුවකු වෙත නිතැතින්ම දැඩි වගකීමක් පැන වේ. අපේ ජීවිත කාලයේදී අත්දුටු සංසිද්ධියක් නැවත ප්‍රතිනිර්මාණය කරනවා යනු වගකීම් සහිත කටයුත්තකි.
මා ඉන් අදහස් කරන්නේ නිර්මාණකරුවාට රිසි පරිදි එය අර්ථ දක්වන්නට හෝ එය විශ්ලේෂණය කරන්නට හෝ අයිතියක් නැති බව නොවේ. එහෙත් සජීවී ලෙස අත්දුටු සංසිද්ධියකට ව්‍යාජ අර්ථකථන දීම නුසුදුසුය.
“My Red Comrade” චිත්‍රපටයේ එන කැරලිකරුවාගේ චරිතය තනිකරම මනෝමූලික ව්‍යාජ චරිතයකි. 87-90 දී ජවිපෙ දේශපාලනය කළ, ධනපති ආණ්ඩුව ත්‍රස්තවාදීන් ලෙස ලේබල් කළ තරුණයකුට අවුරුදු 25කට පමණ පසු වියපත් පුද්ගලයකු ලෙස බිම් ගතවීමේ අවශ්‍යතාවක් ඇත්තේම නැත. එසේ වන්නේ නම් ටිල්වින් සිල්වා, ප්‍රේමකුමාර් ගුණරත්නම් වැනි කැරැල්ලට ඍජු ලෙස දායක වූ, ඝාතනය නොවී බේරුණු ජවිපෙ කාඩර වර්තමාන සමාජයේ මෙලෙස නිදහසේ හැසිරෙන්නේ කෙසේද?
මේ වන විට නොව කිසිදු අවස්ථාවක පොත්පත් රාක්ක මැද බිම් ගතව දිවි ගෙවූ ජවිපෙ කාඩර අපට හමුවී නැත. 71 කැරැල්ලට සම්බන්ධ එවන් හුදෙකලා චරිත සිටින්නට ඉඩ ඇතත් 87-90 කැරැල්ලේ එවන් චරිත නොවීය. තිර පිටපත ලියූ හෝ ඊට උපදෙස් ලබා දුන් කිසිවෙකුටත් 87-90 කැරැල්ල පිළිබඳ සජීවී අත්දැකීම් නොතිබූ බව කැට තබා කියන්නට පුළුවන.
චිත්‍රපටය අවසානයේ “ඇය” නමින් වන ප්‍රධාන චරිතය රඟන තරින්දි ප්‍රනාන්දු “ඔන්න මං එක්කෙනෙක් බේරගත්තා. ඔයාලත් අනෙක් අය බේරගන්න” වැනි අදහසක් ඇති ඉල්ලීමක් ප්‍රේක්ෂකයාගෙන් කරයි. ඇය බිම් ගත ජීවිතයක් ගෙවන පුද්ගලයා බේරා ගත්තා කියන්නේ කාගෙන්ද? මේ අන් අය කවුරුන්ද?
87-90 ජනතා විමුක්ති පෙරමුණේ හෝ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ දේශපාලනයට සම්බන්ධව සිට මේ වන විට බිම් ගතව සැඟවී සිටින කිසිවෙකුත් නැත. අද ජවිපෙ කාඩරය එහෙම පිටින්ම වෙනස් පුද්ගල සමූහයක් ලෙස සමාජයේ නිරුපද්‍රිතව විවෘතව ජීවත් වනු දකින්නට හැකිය.
“My Red Comrade” චිත්‍රපටයේ පෙළ බිඳවැටෙන්නේ ආරම්භයේදීමය. ඊට හේතුව මේ තිරපිටපත කීපදෙනෙකුට කියවන්නට දී දුර්වලතා හඳුනා නොගැනීමේ ආදීනව ලෙස මම දකිමි. එසේ කියවන්නට දුන්නා නම් කියවා ඇත්තේ සවිඥානික දේශපාලනික කියවන්නන් නොවේ.
මුළු චිත්‍රපටයම රඳා පවතින්නේ බිම්ගත ජීවිතයක් ගෙවන තනිකඩයෙකුගේ කාමරයක් තුළය. ඔහු බිම්ගත ජීවිතයක් ගෙවන්නේ පාලකයින්ගේ ආරක්ෂක අංශ දැති රෝදයට බියෙන්ය. චිත්‍රපටය අවසානයේ පොලිසිය ඔහු ඉන්නා ඉසව්ව ගැන ඔත්තුවක් ලැබ මේ පුද්ගලයා සොයා එයි. එනයින් බලන කල ඔහු උපක්‍රමශීලීව සැඟව සිටිය යුතු පුද්ගලයෙකි.
එවැන්නෙකුගේ රහසිගත කාමරයකට මැදියම් රැයේ තරුණියකට ඇතුළු වන්නට දොරක් විවර කර තැබීම අමනෝඥ ක්‍රියාවකි. 87-90 කැරලිකරුවා එතරම් අමනෝඥ නොවන බව මගේ විශ්වාසයයි. එහෙයින් කාමරයට ඇතුළු වන්නට හැකිවන සේ ඒ මොහොතේ පමණක් දොරගුළු දමා නොතිබුණේ චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයාගේ හා කලා අධ්‍යක්ෂවරයාගේ උවමනාවට මිස සැබෑ ලෝකයේ අවශ්‍යතාවට නොවේ. මන්ද ඉන්පසු ඔහු සොයා පොලිසිය එද්දී දොර හොඳින් අගුළු දා තිබූ බැවිනි.
එතැනින් බිඳ වැටෙන විශ්වසනීයභාවය චිත්‍රපට පුරා විටින් විට පිටපත දුර්වල කරයි.
එවන් දුර්වල තැන් කිහිපයක් මෙසේ ලියා තබමි.
හරි……! අහම්බෙන් අමතක වී දොරගුල හැර තැබුවා කියා සිතමු.
මහ වැස්සේ තෙත බරිත වී පිරිමියෙක් තනිවම සිටින කාමරයකට ඇතුළු වන සමාජ ක්‍රියාකාරිණිය “මට නැතිවෙන්න දෙයක් නෑ” කියා නිරුවත් වන්නේ ඇයි? ඒ අවස්ථාවේ ඇඳුම් ඉවත් කළා කියා චිත්‍රපටය ලැබෙන කිසිදු ආලෝකයක් නැත. තරින්දි ප්‍රනාන්දුගේ නිරුවත් සිරුර ප්‍රේක්ෂකයා ඒ මොහොතේ ඉල්ලා සිටින්නේ නැත. ඇය ගණිකාවක් නොව වීදි නාට්‍ය රඟන, සමාජ ක්‍රියාකාරිණියක බව ප්‍රේක්ෂකයා දැනගත් පසු ඇගේ ක්‍රියාව ජනිත කරන්නේ ජුගුප්සාවකි.
නාඳුනන පිරිමියෙකු ඉදිරියේ එලෙස නිරුවත් වන්නට සාධාරණ හේතුවක් තිබිය යුතුය. අධ්‍යක්ෂවරයාට උවමනා වූ පමණින් හෝ රංගන ශිල්පිනිය එකඟ වූ පමණින් නිරුවත් දර්ශනයක් චිත්‍රපටයේ ඇතුළත් කිරීමට තර්කානුකූල හේතු තිබිය යුතුය.
චිත්‍රපටය වැඩිහිටියන්ට පමණයි ලෙස ලේබල් කෙරී ඇත්තේ මේ නිරුවත් ජවනිකාව නිසා බව පැහැදිලිය. මේ නම් නිරපරාදේ ඉල්ලං කෑමකි. තරින්දිගේ නිරුවත නොපෙන්නුවා කියා චිත්‍රපටයේ සන්දර්භයට කිසිදු හානියක් සිදුවන්නේ නැත. හානිය සිදුව ඇත්තේ අනවශ්‍ය තැනක නිරුවත් දර්ශනයක් බලෙන් එබ්බවීම නිසාය.
අනෙක් අතට තරින්දි රාක්කයේ පොත් ගන්නට ඉස්සෙන විට කොට ගවුම ඉස්සී පා යුග්ම නිරාවරණය වනු මෙවන් චිත්‍රපටයක පෙන්වන්නට අවශ්‍යම නැත. “My Red Comrade” නරඹන්නට එන ප්‍රේක්ෂකයා නිළියගේ නිරුවත් පාද දකින්නට බලාපොරොත්තු වෙන්නේ නැත. ඇගේ දෙපා සුන්දර, වටකුරු බව සැබෑය. ඒත් සීරියස් කතාබහක් අතර ඇගේ දෙපා අසුවන්නට රූගත කරන්නටවත් අවශ්‍ය නැත. ඒවා වෙන චිත්‍රපට වලට යොදා ගත්තාට අපට කම් නැත.
කුඩා අවධියේදී තම පියා මරා දැමූ බව පවසන තරුණිය පියාට කටපාඩම් දුන්නාය කියා මැක්සිම් ගෝර්කිගේ “අම්මා” පොතේ පිටු සහ පිටු අංක කටපාඩමින් පැවසීම එහෙම පිටිම අභව්‍යය. ප්‍රේක්ෂකයාට වෙහෙසකාරීය. එසේ පිටු කියැවූ පසු පියා තමන්ව බදා වැළඳ ගත් බව පවසන ඇය ආගන්තුකයාවද වැළඳ ගනියි.
සිය පියා මරා දැමුවේ මන්දැයි එකල තේරුම් නොගත් තරුණියට පියා ඉදිරියේ කියැවූ පොතක පිටු පදාස පිටින්, පිටු අංක සමඟ කටපාඩම්ව තිබීම තිර පිටපතේ සකස් විය යුතුව තිබුණු දුර්වලතාවකි. අනවශ්‍ය තරම් දිග්ගැසුණු ඇයගේ නැටුම් කිසිදු අර්ථයක් උපද්දවන්නේ නැත. ඒවා බොරු රොමැන්ටික් සැරසිලි විදිහට නම් හොඳය.
අවසානයේ කැරලිකරුවා සොයා පොලිසිය එද්දී දොර හරින්නේ තනපට රෙද්දක් හැඳි “ඇය”යි. තරුණියක තනියම සිටින බව තේරුම් ගැනීමෙන් හා ඇතුළත තිසර පටයක් හා ජංගියක් එල්ලා තිබෙනු දැකීමෙන් කාමරය පරීක්ෂා නොකොට ආපසු යන පොලිසියක් තිබුණා නම් මරා දැමූ හැට දහසක තරුණ තරුණියන්ගෙන් කොපමණ දෙනෙකුට බේරෙන්න තිබුණාද ?
ආසිරි ඇල්ලගේ නම් වූ නවක නළුවා ඔහේ ඉන්නවා මිස කරන රංගනයක් නැත. රඟනොපා සිටීමේ රංගනය ඔහුට ආගන්තුකය. 87- 90 කැරලිකරුවා ආතක් පාතක් නැති රූකඩයක් බවට රංගනයෙන් ප්‍රකාශ වීම අධ්‍යක්ෂකවරයාගේ අවශ්‍යතාවදැයි නොදනිමි.
චිත්‍රපටයේ සාධනීය ලක්ෂණ වන්නේ ව්‍යාජ තිරපිටපතක් වුවද සූක්ෂ්ම ලෙස අධ්‍යක්ෂණය කොට තිබීමයි. සුදත් මහදිවුල්වැව අධ්‍යක්ෂණයේ රුසියෙකු බවට තර්කයක් නොමැත. රුවන් කොස්තා ඉතා අසීරු කැමරාකරණයක හා ආලෝකකරණයක නියුක්තව ඇත. විශේෂයෙන් අතපය දිග හරින්න ඉඩ කඩ නැති කාමරයක් ලෙස සකස් වූ සෙට් එකක මේ කාරියේ ඇති දුෂ්කර බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. අජිත් රාමනායක සංස්කරණය තවත් සූක්ෂම වූවා නම් මැනවි. එහෙත් පැය එකහමාරකට ඇදගෙන යන්නට ප්‍රමාණවත් සිද්ධි නොමැති, ඇදී යන දෙබස් ඇති චිත්‍රපටයක් සංස්කරණය කිරීමේ අසීරුතා ඔහු අත්විඳින්නට ඇත. නදීක ගුරුගේ සංගීතය හා ගායනය මගින් සුපුරුදු සමත්කම් දක්වා ඇත.
එසේම “ඇය” ලෙස රඟන තරින්දි ප්‍රනාන්දු තමන් සිංහල සිනමාවේ ඉතා විශිෂ්ට රංගන ශිල්පිනියක බව මනාව ප්‍රකට කර ඇත. ඇගේ ගමන, බිමන, බැල්ම, මුහුණේ හැඟීම්, දෙබස් උච්චාරණය ඉහළ මට්ටමක පවතී. අධ්‍යක්ෂවරයා ඇගේ සියලු කුසලතා උදුරාගෙන මුදා හැර ඇත.
තරින්දිගේ රංගන පරාසය නොවන්නට “My Red Comrade” ඕලාරික චිත්‍රපටයක් වීමට බොහෝ ඉඩකඩ තිබිණි. ප්‍රේක්ෂකයා ඇගේ රංගන දෙස බලා සිටින්නේ භාවනාවකට සම වැදුණු ආකාරයටය.
මෙසේ විචාරයක් ලියන්නට උත්සුක වන්නේ සුදත් මහදිවුල්වැවගේ “My Red Comrade” කතා කළ යුතු චිත්‍රපටයක් හෙයිනි. එසේ නොවෙන බඩකඩෙත්තු එසැනින් අතහැර දීමට අප පැකිළෙන්නේ නැත.
මේ අදහස් දැක්වීම සංවාදගත වන්නට නම් සිංහල සිනමා ලැදි හැමෝම “My Red Comrade” චිත්‍රපටය නැරඹිය යුතුය. සුදත් මහදිවුල්වැව යනු සිංහල සිනමාවට රැක ගත යුතු අධ්‍යක්ෂවරයෙකි.
සටහන –
හෙන්රි වර්ණකුලසූරිය