Main NewsSports

බස් එකේ ගියයි කී උදේශිකාගේ ඇත්ත කතාව …

උදේශිකා ප්‍රබෝධනී ගැන රටම කතාවිය යුතු හේතුව අනෙකකි. නමුත් සිරි ලංකා වේ කතා වෙන්නේ අනෙකකි.උදේශිකා බස් එකේ ගිය කතාවට මේ වෙද්දී ඇත්ත සමාජගත වෙමින් නිවැරදි පිළිතුර ලැබී ඇත.
ලංකාවේ බහුතරයක් කාන්තා ක්‍රිකට් පිලේ දන්නේ චමරි අතපත්තු පමණය. පසුගියදා යාන්තං හර්ෂිතාව අල්ලා ගත්තෝය. ඉන් පසු උදේශිකාව අල්ලා ගත්තෝය. හැබැයි ඇල්ලුවේ වැරදි තැනකිනි. එනිසා නොදන්නා සියල්ලන්ගේ දැනගැනීම පිණිස මෙසේ ලියා තබමි.
උදේශිකා යනු ලෝකයේ ප්‍රධාන ක්‍රිකට් රටවල් 8 අතරේ 20-20 තරඟ රටාවේ ක්‍රීඩා කරන වයස්ගතම ක්‍රීඩිකාවය. මේ ලියන විට ඇයට වයස අවුරුදු 38 දින 316කි.ඇය ලෝකයේ වැඩිම 20-20 කඩුළු ලාභී වමත් වේග පන්දු යවන්නියයි. 2014 වසරේදී ඇය 20-20 පන්දු යවන්නියන් අතරේ පළමු තැනට පැමිණීමටද සමත් වූවාය. චමරි හැරෙන්නට 20-20 අන්තර්ජාතික කාන්තා තරඟ 100ක් ක්‍රීඩා කල ලංකාවේ එකම ක්‍රීඩිකාව ඇයයි. ශ්‍රී ලංකාව ආසියා කුසලානය දිනීමේ ගෞරවයෙන් චමරි හා සමාන කොටසක් ඇයටත් හිමිවිය යුතුමය. හැම තරඟයකම ආරම්භය සාර්ථක කර දෙන Economical and Wicket taking Bowler ඇයයි.

ආසියා කුසලාන අවසන් තරඟයේදි අවසන් පන්දුවාරය යැවීමට චමරි පන්දුව තැබුවේ ඇගේ අතේය. මේ තරඟයේ මුල් පන්දුවාර දෙකේදී ඇයට එරෙහිව ලකුණු 20ක් ලබාගෙන තිබිණ.

ලයිව් එක බලා සිටි සමහරෙක් “මෙච්චර ගහලා තියෙද්දි මේ ගෑනිට මොකට දුන්නද මන්දා” යැයි සට පට ගා කෙටුවහ. එය අනුමත කරන්නෝද රැසක් සිටියහ. “ක්‍රිකට් දන්න මිනිස්සු විතරයි මාත් එක්ක හිටියේ” කුසල් මෙන්ඩිස් වරක් මාධ්‍යයට කිව්වේ ඇත්ත බව මට සිතිණ. උදේශිකා අවශ්‍යම කඩුල්ල ලබාගෙන ලකුණු 7කට ඕවරය ඉවර කලාය.

ලංකාව පළමුවරට ඉන්දියාව එක්දින පිටියේ පරාද කරද්දීද උදේශිකා කැපී පෙනෙන දස්කම් දැක්වූවාය. ඒ 2013 ලෝක කුසලානයේදීය. ඇය ඉන්දීය නායිකා මිතලි රාජ් දවා ගනිමින් නිලකුණු පන්දුවාරයක්ද සමඟ පන්දුවාර 8 ලකුණු 25කට සීමා කලාය. ශ්‍රී ලංකාව තරඟය ජයගෙන සුපර් 6 ගියේ ඉන්දියාව තරඟවලියෙන් ඉවත් කරමිනි.

2020 20-20 ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවෙදි උදේශිකා පන්දුවාර 4 ලකුණු 17කට සීමා කරමින් කඩුලු දෙකක් දවා ගත්තාය. ඇගේ පන්දු යැවීම හමුවේ ඔස්ට්‍රේලියා ලකුණු පුවරුව 10-3ක් ලෙස දිස්විය. කෙසේ හෝ පන්දු 3ක් ඉතිරිව තිබියදී ඔස්ට්‍රේලියාව තරඟය ජයගත් බව අනෙකකි. කැන්ගරුවන්ට එරෙහිව කැන්ගරු බිමේදී ඇය පෑ දස්කම විස්කමකි.

උදේශිකා ඉතාම නිවැරදි ලයින් සහ ලෙන්ත්(line and length) වල පන්දු යවන, කඩුල්ල තුලට පන්දුව දෝලනය කරන විශිෂ්ට පන්දු යවන්නියකි. 38 හැවිරිදි වියේදිත් ඇය ක්‍රීඩා කරමින් දක්ෂතා දැක්වීම ඇගේ හැකියාව සහ අනන්‍යතාවය උත්කර්ෂයට නැගිය යුතුය.
රටක මාධ්‍ය තිබිය යුත්තේ රට මිනිසුන්ගේ චින්තනය ගොඩ නැගීමටය. රටක ක්‍රීඩා සාහිත්‍ය තිබිය යුත්තේ ප්‍රතිරූප ගොඩ නැගීමටය. නමුත් රීච් හොයන ,ඕන බොරුවක් ගෙඩිය පිටින් කෙළලා දාලා තමන්ගේ මඩිය තර කරගන්නා සමාජ මාධ්‍ය මට්ටමට වැටී ඇති ඇතැම් ප්‍රධාන පෙලේ මාධ්‍යයත් මේ රටේ මිනිසුන් අනවශ්‍ය ලෙස කුපිත කරමින් ගොං ආතල් එකක් ගනිති. මෙය සමාජ පරිහානියේ ප්‍රධාන සාධකයක් බව උන් කාටවත් නොතේරීම කණගාටුවට කරුණකි.කතා කරන්නේ උදේශිකාගේ දුප්පත්කම ගැනය. ඇය සැබවින්ම දුප්පත් නැත. දුප්පත් ඉවක් බවක් නැතුව අමූලික බොරු සමාජගත කරන උන්ගේ මානසිකත්වයය.

ක්‍රීඩකයෙකුගේ දක්ෂතාව ඉස්මතු කරමින් ඔවුන්ගේ වටිනාකම රටට කිවයුතු මාධ්‍යකරුවන් මෙවන් කතා තුලින් විනාශ කර දමන්නේ ඒ ක්‍රීඩකයන්ගේ ප්‍රතිරූපයයි. සබුද්ධික ප්‍රජාව මේ සෘනාත්මක ආකර්ශණය(Negative Reach) ලබා ගැනීමේ ගොබ්බ මාධ්‍ය කලාව ප්‍රතික්ෂේප කල යුතුය. රටක් දියුණුවන්නේ මිනිසුන්ගේ චින්තනය දියුණුවන්නෙ ධනාත්මක ,දැනුම සමාජගත කරන(Positive & Informative) මාධ්‍ය භාවිතාවක් තුලිනි. බුද්ධිමතුන්ගේ නිහඬතාවය තරම් අපරාධක් රටකට තවත් නැත. මොකද දෙවියන් නැති තැන පෙරේතයන් පිනුම් ගසන බැවිනි. සබුද්ධික ඔබ නිවැරදි දේ වෙනුවෙන් හඬ නැගිය යුතු කාලය එළඹ තිබේ.

විදුරංග ගුණසේකර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *