Art

මරණය හෝ තරණය, අරුණිමාගේ කතාව ! – තාරිකා ද සිල්වා

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ අම්බෙඩ්කාර් නගර් හි ජීවත් වූ යුවතියක් ලක්නව් දුම්රිය ස්ථානය කරා පැමිණියේ දිල්ලිය කරා යාමටයි.
අම්බෙඩ්කාර් නගර් සිට ලක්නව් දක්වා පැමිණීමට ඇයට කිලෝමීටර් 200 ක් දුර ගෙවා පැමිණීමට සිදු විය. අරුණිමා සිං නමැති මේ තරුණිය දක්ෂ මළල ක්‍රීඩිකාවක්. ඇගේ පශ්චාත් උපාධියෙන් පසු නීතිය හැදැරීම සිදු කළද විරැකියාවෙන් පෙළුණු ඇයට රැකියාවක් සොයා ගැනීම ඉක්මනින් කළ යුතු කටයුත්තක් වුණා.
එබැවින් මිලිටරි සේවයට අයදුම් කළ අතර තෝරා ගත් ලැයිස්තුවේ ඇගේ උපන්දිනය වරදවා සටහන් වී තිබුණා. මෙය නිවැරදි කරවා ගැනීමට ඇය දිල්ලිය බලා යා යුතුයි.

2011 වර්ෂයේ අප්‍රේල් 11 වන දින රාත්‍රියේ මෙසේ ඇය ලක්නව් සිට පද්මාවත් එක්ස්ප්‍රස් දුම්රියට ගොඩ වුණේ දිල්ලිය බලා යෑමටයි. දිල්ලි ගමන ඇගේ ජීවිතයේ බිහිසුණුම ගමන වේ යැයි අරුණිමා සිහිනෙන් වත් නොසිතන්නට ඇත.
එක්වරම දුම්රියට ගොඩ වැදුණු මංකොල්ලකරුවන් පිරිසක් තනිකඩ කාන්තා මගියෙකු ලෙස සිටි අරුණිමා ගේ ගෙලේ බැඳි රන් මාලය උදුරා ගැනීමට තැත් කළා. ඒ ඇගේ මව තෑගි කළ රන් මාලයයි. ඇය කිසිසේත් මාලය ඔවුන් ට ඩැහැ ගැනීමට ඉඩ නොදුන්නා. මංකොල්ලකරුවන් සහ ඇය අතර දරුණු සටනක් ඇති වූයේ ඉන්පසුවයි.

ඇය මුළු ශක්තියම යොදවා ඔවුන්ට පහර දුන් අතර එය සිදු කළ හැකි වූයේ කෙටි වේලාවක් පමණයි. මැදිරියේ සෙනඟ පිරී සිටියද ඔවුන් එක් අයෙක් වත් මේ අසරණ වූ කාන්තාව බේරීමට ඉදිරියට පැමිණ නැත. මංකොල්ලකරුවන් ඇයව ඔසවා දුම්රියෙන් එළියට විසි කර දැමුවා. ඒත් සමඟම ඒ අසල දුම්රිය මාර්ගයෙන් පැමිණි වෙනත් දුම්රියක් ඇගේ පාද මතින් ගමන් කළා.
කකුල් වල සුන්බුන් සමඟින් දුම්රියන් 49 ක් ඇය පසු කර යනතෙක්ම රුධිරය වගුරවමින් දුම්රිය මාර්ගයේ සිටීමට ඇයට සිදු වුණා . පාන්දර මිනිසුන් කීප දෙනෙක් ඇයව සොයා ගන්නා තෙක්ම අරුණිමා දරා සිටියේ කෙසේද යන්න අද දවසේ ඇයටත් පුදුමයක්.

රෝහලට රැගෙන ගිය පසු අරුණිමා ජිවිතය යදිනා සමයේ මාධ්‍ය වල, දේශපාලන වේදිකාවේ පළ වුණේ විවිධාකාර අදහස්‍ .
ඇය පිළිබඳව බොහෝ අය අනුකම්පා කළද ඉන්පසු විවිධ කටකතා පැතිර ගියා. ප්‍රවේශ පත් නොමැතිව දුම්රියේ ගමන් කළ නිසා පැන ගොස් ඇති බව කීම එක් කතාවක් . සියදිවි නසා ගැනීමට තැත් කළ බව පැවසීම තවත් කතාවක්.
හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා කඩාවැටුණාක් මෙන් අරුණිමා ට තව තවත් නීතිමය ගැටළුද මතු වුණා . ඇය ඒ කටුක දිනයන් කෙසේ ගෙවා ගත්තේද දන්නේ ඇය පමණයි.

නමුත් අරුණිමා වන් සිත් ඇත්තන් ධෛර්යයක් ඇති කර ගත් පසු ඔවුන් පැරදවීමට කිසිවෙකුටත් නොහැකියි.
සියළු වියරු දිනයන් ගෙවන අතරතුර දෙපා අහිමි ඇය නව බලාපොරොත්තුවක් ඇති කර ගත්තා. ඇයට කිසිවෙකුගේ අනුකම්පාවක් අවශ්‍ය වූයේ නැත. අරුණිමා ට අවශ්‍ය වූයේ සියළු භයංකර සහ නිර්ධය සිදුවීම් අතරින් නැවත නැගිටීමටයි.
ඒ බලාපොරොත්තුවේ නම “එවරස්ට් තරණයයි.”

එවරස්ට් පිළිබඳව ලියවුණු පුවත්පත් ලිපි ගණනාවක් අරුණිමා ඉතා ආශාවෙන් මේ කාලයේ කියවීම සිදු කළා. කෘතිම පාදවලින් කිසිවෙක් එතෙක් එවරස්ට් තරණය කර තිබුණේ නැත. අරුණිමා ට අවශ්‍ය වූයේ සිහිනයක් දිනීමට පමණි. ඉතින් ඇය ඇගේ නව මාර්ගයට පිවිසීමට තීරණය කර අවසානයි. කෘතිම පාදයන්ගෙන් ඇය දින දෙකකින් ඇවිදීම සිදු කළා.

ඉන් අනතුරුව , ඉන්දියාවේ ප්‍රථමයෙන්ම එවරස්ට් තරණය කළ කාන්තාව වූ බචේන්ද්‍රි පාල් ව සම්බන්ධ කර ගෙන ඇයව හමුවීමට කටයුතු කළා. එම මුණ ගැසීම අරුණිමා ගේ ජීවිතයේ තවත් සංධිස්ථානයක් සනිටුහන් කකරන්න සමත් වුණා . ඉන්පසු ඇය කඳු නැගීමේ පාසලකින් මූලික පාඨමාලාවක් සිදු කර ඉතා දැඩි පුහුණුවකට ඉන්පසු යොමු වුණා .
සියළු පුහුණු හමාර කර එවරස්ට් තරණය ආරම්භ කළා.

එවරස්ට් තරණයේදී කඳු මුදුනට යාමට කොටස් 4 ක් තරණය කළ යුතුයි. සිව්වන කොටසට ළඟා වූ පසු කඳු මුදුනට ඇත්තේ අඩි 3500 ක් පමණයි. මෙම ප්‍රදේශය හඳුන්වන්නේ මරණයේ කලාපයන් ලෙසයි. විසිරී ඇති මළ සිරුරු සහ ඇටසැකිළි දෙස දෙනෙත් යොමු කරමින් ඇය දිගින් දිගටම තරණය සිදු කළා. දරුණු ලෙස තුවාල වීම්, ඇද වැටීම් මධ්‍යයේ ඇය සටන නතර කළේ නැත.
අරුණිමාගේ මාර්ගෝපදේශකයා මුළින් සිතුවේ මේ ඇගේ සියදිවි නසා ගැනීමේ ගමනක් ලෙසයි. නමුත් ඔහු ඇය හා අවසානය තෙක් ගමන් කළා.

නැවත හැරීමක් නැත.
මරණය හෝ තරණය !!!
2013 වර්ෂයේ මැයි 31 අරුණිමාගේ දිවියේ හොඳම දවස වූ බවට සැකයක් නෑ. කෘතිම පාදයන්ගෙන්, කිව නොහැකි තරමේ අසීරු , කටුක ගමනකින් පසු ඇය එවරස්ට් කඳු මුදුනේ සිට ගත්තා.
ඒ මොහොතේ ඇගේ ඔක්සිජන් සැපයුම තිබුණේ ඉතා අඩු මට්ටමකයි. අරුණිමා ඇගේ රටේ ධජය සිටවූවා. ඊට පියවර කීපයකට පසු ඇගේ ඔක්සිජන් සැපයුම අවසන් වූවා.

ඉරණම සඳහා සටන් කරන මිනිසුන් කිසිදා මිය යන්නේ නැත. ආශ්චර්‍යයකින් මෙන් කෙසේ හෝ ඔක්සිජන් සැපයුමක් ඇගේ මාර්ගෝපදේශකයාට හමු වුණා . මරණයේ දොරටුව අසලටම ගොස් නැවත අරුණිමා මෙළොවට පැමිණියා.
මේ වන විට අරුණිමා සිං විවාහ වී සිටින අතර ඇය ලාභ නොලබන අඩු ආදායම් ලාභී ආබාධිත දරුවන් වෙනුවෙන් පාසලක් ද පවත්වාගෙන යනවා.එමෙන්ම ජනප්‍රිය අභිප්‍රේරිකාවක් ලෙස සමාජය දිරි ගන්වමින් සිටිනවා. එක්සත් රාජධානියේ කීර්තිමත් විශ්ව විද්‍යාලයකින් ඇය වෙත ආචාර්ය උපාධියක්ද ප්‍රදානය කර තිබෙනවා.
කඳු මුදුනෙන් නැවත උපත ලද ඇයගේ ජීවිතය හුදු සුරංගනා කතාවක් නොවේ. මේ පීඩනය, ධෛර්යය , කැපවීම සහ අත් නොහැරීම පිළිබඳව ලියවුණු සුන්දරම ජීවිත කතාවයි.

-තොරතුරු අන්තර්ජාලයෙනි.

තාරිකා ද සිල්වා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *