75 වෙද්දී බංකොලොත් රට 76 නිදහස සමරද්දී ගොඩගෙන තිබෙනවා – ජනපති කියයි
76 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ.
එම සම්පූර්ණ පණිවිඩය පහතින් දැක්වේ.
“නිදහසින් 75වනි වසර සමරද්දී අප බංකොලොත් රටක් ලෙස නාමකරණය වී තිබිණි. නමුත් 76 වන නිදහස් දිනය වෙද්දී ඒ තත්ත්වයෙන් මිදී ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට අපට හැකි විණි.
ඒ, අනේක දුෂ්කරතා මධ්‍යයේ ය.
දුෂ්කරතා විඳ දරාගනිමින් රටේ පුරවැසියන් බහුතරය රට යළි ගොඩනැංවීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලට සහය දීම නිසා අපට කෙමෙන් කෙමෙන් ඉදිරියට යාමට හැකි විණි.
මේ මගෙහි ම තවත් ඉදිරියට යද්දී, දුෂ්කරතා මැකී යනු ඇත. ජීවන බර සැහැල්ලු වනු ඇත. ආර්ථිකය ශක්තිමත් වනු ඇත. ශ්‍රී ලංකා මාතාව යළි පිබිදෙනු ඇත.
1948 වසරේ ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත් වූ අවස්ථාවේ ජාත්‍යන්තරයේ අපේක්ෂාව වූයේ ලංකාව පෙරදිග දියුණු රටක් බවට පත් වනු දැකීමයි. ඒ සඳහා සියලු පසුබිම් සාධක අප සතු විය. නමුත් අවසානයේ අපට සිදු වූයේ බංකොලොත් රාජ්‍යයක් බවට පත් වීමට ය.
අතීත වැරදි යළි සිදු නොකළ යුතුය. වත්මන් ගමන් මග නිවැරදි බව දැන් මුළු ලෝකය ම ඉදිරියේ සනාථ වී ඇති බැවින් මේ ගමන් මගෙහි ම ඉදිරියට ගොස් යළිදු සෞභාග්‍යය උදා කරගැනීමට මේ නිදහස් දිනයේ අදිටන් කරගනිමු.
රට යළි ගොඩනැංවීමේ අභිමානවත් මෙහෙවරට හැකි ශක්ති ප්‍රමාණයෙන් දායක වන ලෙස ශ්‍රී ලංකා භූමියේත්, ඉන් පිටතත් වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් මම ඉල්ලා සිටිමි.“