Features

හූති මඩිනවාද ? ආර්ථිකය දිනනවාද ?

රතු මුහුදට ලංකාවේ නාවික හමුදා නැවක් යෙදවීම සම්බන්ධයෙන් පසුගිය සතියේ වඩා උණුසුම් පුවත් වාර්තා විය. එය දිගින් දිගිමට කතා බහට ලක් වීමට බලපාන සුවිශේෂී කරුණක් බවට පත් වූවේ ඊට එරෙහිව විපක්ෂ නායකයා හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සිදුකළ විරෝධයය. එහිදී ඔවුන් සදහන් කොට සිටියේ ලංකාවට කිසිදු වැදගත්මකමක් නැති සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදාවේ ජීවිත ආරක්ෂාව හා මුදල් නාස්ති කරමින් සිදුකරන ක්‍රියාවක් බවයි. එහිදී ඔවුන් පොදුවේ සිදුකළ ප්‍රකාශය තුළ ගැබ් වූයේ අපි ලංකාව අනවශ්‍ය කරදර දාගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බව සදහන් කරමිනි.

රතු මුහුදේ අර්බුදය
නාවික හමුදාවේ නැවක් දින දෙකකට මිළියන 250ක් වියදම් කොට නැව්වල ආරක්ෂාව සදහා රතු මුහුදුට යෙදවීමට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ ඇයිද යන්න මුලින් විමසිය යුතුවේ. නැව් දියත් කිරීමත්, වියදම් දැරීමත්, ලංකාවේ ආරක්ෂක අංශයන්ගේ ජීවිත සම්බන්ධ ගැටළුවත් මේ සියල්ල සම්බන්ධයෙන් විමසීමට පෙර අදාළ සිදුවීම් පිළිබද පැහැදිලි කොට ගත යුතුවේ.
මේ වන විට දියත් වෙමින් පවතින ඊශ්‍රාලය හා හමාස් සංවිධානය අතර වන යුද්ධයේදී හමාස් සංවිධානයට සහාය දක්වමින් සිටින යේමනයේ ෂියා මුස්ලිම් සුළුතරයකින් සැදුම් ලත් ” හූති කැරළිකාර කණ්ඩායම ” රතු මුහුදේ ගමන් ගන්නා වෙළද හා මගී නෞකාවන්ට ප්‍රහාර දියත් කිරීම ඇරඹූ අතර එයට හේතුව ලෙස ඔවුන් දක්වා සිටියේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන්ගේ මැදිහත්වීමට විරෝධය පළ කිරීම සදහා බවයි. මේ අනුව ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය වාර්තා කර සිටියේ යේමනයේ ‘හූති’ කැරලිකරුවන් විසින් ඉකුත් නොවැම්බර් මාසය් සිට මේ දක්වා රතු මුහුදේ යාත්‍රා කරමින් තිබූ වෙළඳ නෞකා රැසකට ප්‍රහාර එල්ල කළ බවයි. මේ අතර ඇමෙරිකානු නාවික හමුදාවට අයත් නෞකා විසින් අවස්ථා රැසකදී හූති කැරලිකරුවන් විසින් එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල වෙත ප්‍රති ප්‍රහාර එල්ල කිරීමටද සමත් විය.

හූති කැරළිකරුවන්ට ඔවුන්ගේ ඉලක්කය සහිත දේශපාලනික උවමනාව පැහැදිලිය. ඒ අනුව ඊශ්‍රාලයට උදව් වන කවර හෝ පන්නයේ ගමන් ගැනීමක් පවතීද එය වානිජ්‍ය වේවා මගී වේවා රතු මුහුද යනු ගෝලීය සැපයුම් ජාලයන්හි කේන්ද්‍රස්ථානයක් මෙන්ම එය අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි තාවයක් පෙන්වන්නේ නම් ලෝක ආර්ථිකයට ප්‍රබල තර්ජනයක් එල්ල කළ හැකි ස්ථානයකි.

කවුද මේ හූති

‘හූති’ (Houthis)’ යනු යේමනයේ ෂියා මුස්ලිම් සුළුතරයක් වන සයිඩිස් හි උප නිකායට අයත් සන්නද්ධ කණ්ඩායමකි. ඔවුන්ගේ මෙම ව්‍යාපාරයේ නිර්මාතෘ හුසේන් අල් හූතිගේ නමෙහි කොටසක් සිය සන්නද්ධ ව්‍යාපාරය සඳහා භාවිතා කරයි.

1990 දශකයේ දී මෙම සන්නද්ධ ව්‍යාපාරය බිහිවිමට ප්‍රධාන හේතුව වුයේ එවකට යේමනයේ ජනාධිපති ලෙස කටයුතු කළ අලි අබ්දුල්ලා සාලේගේ පාලනයයි. සෞදි අරාබි හමුදාවේ සහාය ඇතිව යේමන ජනාධිපති අලි අබ්දුල්ලා සාලේ විසින් හූති කැරලිකරුවන් තුරන් කිරීමට උත්සාහ කළ නමුත් 2003 වසරේ දී හූතිවරුන් ඔවුන් දෙපාර්ශවයම පරාජය කිරීමට සමත් විය.

හූති කැරලිකරුවන් 2014 වසරේ සිට යේමනයේ රජයට එරෙහිව සිවිල් යුද්ධයක නිරතව සිටිති. සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රමුඛ අරාබි රටවල් හූති කැරලිකරුවන්ට එරෙහිව සටන් වැදීම සඳහා යේමන රජයට සහාය ලබා දී සිටියි. 2022 ආරම්භය වන විට, යේමනයේ පවතින සිවිල් යුද්ධය නිසා ඇස්තමේන්තුගත මරණ සංඛ්‍යාව 377,000 ක් වන අතර තවත් මිලියන හතරක ජනතාවක් අවතැන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මේ නිසාම ඊශ්‍රාලයට එරෙහි සටන් පෙරමුණ මත සටන් වැදීම තම ආගමික අන්තවාදයේ කොටසක් ලෙස ගෙන ගෙන යන මෙම රතු මුහුදේ කොල්ලකාරී ප්‍රහාරත්මක බව හුදු අන්තවාදයේ කොටසක් මෙන්ම ආර්ථිකමය කොල්ලයක්ද වේ.

අපට වැදගත් වන රතු මුහුද

රතු මුහුද මෙතරම් වැදගත් වන්නේ ඇයි ? එය විමසීමට එහි දෙකෙළවර පිරිවිසීම වටී. අප්‍රිකාව සහ ආසියාව අතර පිහිටා ඇති රතු මුහුද අරාබි මුහුද සමග සම්බන්ධ වේ. එය අරාබි මුහුදට සම්බන්ධය වන්නේ බාබ් අල් – මන්දාබ් සමුද්‍ර සන්ධියෙන් සහ ඒඩන් බොක්ක හරහා යි.

මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇති ‘රතු මුහුද’ වඩාත් වැදගත් වන්නේ ගෝලීය සැපයුම් ජාලය අඛණ්ඩව පවත්වාගෙන යාමට එහි ඇති ප්‍රධාන වැදගත්කම හේතුවෙනි. රතු මුහුදු සීමාවට උතුරු දෙසින් සිනායි අර්ධද්වීපය, අකාබා බොක්ක සහ සූවස් බොක්ක පිහිටා ඇත. රතු මුහුද දළ වශයෙන් වර්ග කිලෝමීටර් 438,000 ක (වර්ග සැතපුම් 169,000) ක භූමි ප්‍රදේශයක් තුළ පිහිටා ඇත. කිලෝමීටර් 2,250 ක දිගින් යුත් රතු මුහුදේ පළලම ස්ථානය කිලෝ මීටර් 355 කි. රතු මුහුදට අයත් සුවිශේෂී ආර්ථික කලාපයේ පිහිටි රටවල් ලෙස ඊජිප්තුව, සෞදි අරාබිය, සුඩානය, එරිත්‍රියාව, යේමනය සහ ජිබූටි හැදින්විය හැකිය. එය සූවස් ඇළ හරහා මධ්‍යධරණී මුහුදට සම්බන්ධ වීමත් සමඟ යුරෝපය සහ ආසියාව අතර සමුද්‍ර ගමනාගමනය සම්බන්ධ කෙරෙන ලෝකයේ කාර්ය බහුලම නාවික ගමනාගමන මාර්ගයක් ලෙසත් සැලකෙයි. රතු මුහුද යනු තෙල් සහ ද්‍රව ස්වභාවික වායු (LNG) නැව්ගත කිරීම සඳහා මෙන්ම පාරිභෝගික භාණ්ඩ ප්‍රවාහනය කිරීමෙහි ලා භාවිතයට ගැනෙන ලොව ඇති වැදගත්ම නාවුක ගමන් මාර්ගයයි. ගෝලීය බහාලුම් ප්‍රවාහනයෙන් 30% ක් පමණ සූවස් ඇල ඔස්සේ යාත්‍රා කරනු ලබයි.

මේ අනුව යුරෝපානු වෙළද නෞකා ගමනාගමනය ආසියානු කලාපයට ලගා වීමට සිදුවන්නේ මෙකී මාර්ගය හරහා වන අතර මෙය අඩපන වීම යනු ආසියානු කලාපයට ‍වෙළද සැපයුම් ජාලා අඩපන වීමට හා අලාභය ලැබීමට හේතුවන ප්‍රධාන වෙළඳ මාර්ගයක් ඇහිරීමක් වේ. මේ නිසා අත්වන ආර්ථික අලාභය සුළු පටු නොවේ. මෙම හූති ප්‍රහාරයන් හේතුවෙන් මේ වන විට දෙසැම්බර් මැද සිට මේ දක්වා බහාලුම් ප්‍රවාහනය සිදුකරන නැව් 405ක් රතු මුහුද මග හැර සිය නාවික ගමන් මාර්ග වෙනස් කර යාත්‍රා කර තිබේ. එය සූවස් ඇල මාර්ගය ඔස්සේ යාත්‍රා කරන නැව්වලින් 78%කි. මේ නිසාම ආසියානු කලාපයේ භාණ්ඩ මිළ ඉහල යාමට බලපෑ ඇත. එය එක් භාණ්ඩයක් මත සියයට 20ක් හෝ 30ක් වීම මත මේ අර්බුදයේ තීව්‍ර බව මනාව වටහා ගතව හැක.

ලංකාවේ මැදිහත්වීම අවශ්‍යද ?
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අනුව පෙරකී ලෙස මෙයට මැදිහත්වීම අපි ඉල්ලා ගෙන කෑමක් ලෙස හදුන්වයි. ඔහු සදහන් කරන අන්දමට අප මෙවැනි තත්වයකදී සැඟවී සිටිය යුතුය නැති නම් වෙනත් රාජ්‍යයන් මැදිහත්වී මේ ගැටළුව නිරාකරණය කොට දෙන තෙක් සිට අපි ඉන් පසුව ඔඩොක්කුවට වැටෙන දේ ගත යුතුව ඇත. හරි හමන් රාජ්‍ය තාන්ත්‍රික ගණුදෙනුවකදී ඒ ඒ කලාපීය තත්වයන්ට මැදිහත් නොවන්නේ නම් රටක් ලෙස පැවතීමට නොහැකි වීම සජිත්ට අනුව කළ හැකිය. ඒ සජිත් යනු මේ රටේ නායකත්වය සිහිනයක් පමණක් කොට ගෙන වෙසෙන්නෙකු බැවිනි. ඒ අඩුපාරේම යන අනෙක් විපක්ෂයේ නඩයටද මෙය එකසේ වලංගුය.
ජාත්‍යන්තර මැදිහත්වීම් සදහා සහභාගීත්ව වලංගු භාවය යනු රටක අභිමානය මෙන්ම එම රට සමග ජාත්‍යන්තර විශ්වාසනීයත්වය රැදී පැවැතීමට ඇති එක් පියවරකි. මේ නිසාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ රතු මුහුදේ ඇතිවී තිබෙන තත්ත්වය නිසා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකාවක් එහි යැවීමට එකඟ වී ඇති බවයි. දැනටමත් රතු මුහුදේ හූති කණ්ඩායම් නැව්වලට ප්‍රහාර එල්ල කිරීම නිසා නැව් ගමනා ගමනය නැවතී තිබෙනවා. ” “මෙම නැව් රතු මුහුදෙන් එන්නේ නැතිව දකුණු අප්‍රිකාව වටේ ගමන් කළහොත් එයින් බඩු මිල ඉහළ යනවා. එම නිසා ‘හූති’ වැඩකටයුතුවලට විරුද්ධව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැවක් රතු මුහුදට යවා එහි ආරක්ෂාවට සහාය දීමට අප එකඟ වී තිබෙනවා යනුවෙනි. මෙය මෙතෙක් ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයෙකු ලෙස ගත් එඩිතර තීරණයක් වන්නේ අප සතු නාවුක බලයේ තරම වෙනත් රාජ්‍යයන් සමග සැසදීමේදී ඉහල තලයක ඇති බවට වන විශ්වාසය සහිතවය. එය අප විසින් ඔප්පු කරනු ලැබූ අවස්ථාවන් පැවතුනි. ප්‍රබල එල්.ටී.ටී.ඊ ත්‍රස්තාවදයට එරෙහිව මෙන්ම සෝමාලියානු මුහුදු කොල්ල කරුවන්ට එරෙහිව කටයුතු කිරීමේදීද ලංකාවේ නාවුක බලය ලොවට ප්‍රදර්ශනය කොට ඇත. එයට සමත් නාවුක හමුදාවක් අප සතුවීම හේතුවෙන් හූතී කැරළිකරුවන්ට එරෙහිව නෞකා ආරක්ෂා කිරීම යනු සුළු කාර්යයකි.
එසේම ජාත්‍යන්තර රාජ්‍යයන් 20ක් සමග එකතුව මෙම මෙහෙයුමට මුහුණ දීම යනු ඒ ඒ රාජ්‍යයන් සමග පවතින සබඳතා තර කර ගැනීමේ තවත් පියවරකි.

නාවුක හමුදාව සූදානම්ද ? 

රතු මුහුදේ මුර සේවය සඳහා පිටත් වීමට අවශ්‍ය නියෝග ලැබෙන ඕනෑම මොහොතක ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකාවන් එම මුහුදු ප්‍රදේශය බලා යාත්‍රා කිරීමට සූදානම් බව නාවුක හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසුරිය පැවසයි. අපට ඕනෑම වෙලාවක ඒ මුහුදු ප්‍රදේශය බලා පිටත් කර හරින්න හැකියාව තිබෙනවා. ඒ ගැන කිසිම ගැටළුවක් නැහැ. මොකද දැනටත් අපි මාසයක කාලයක් සඳහා මුර සංචාරයන් සඳහා අපේ නෞකාවන් යවනවා. ඒ යාත්‍රා ජාත්‍යන්තර මුහුදේ වගේම ලංකාවේ දකුණු දිග මුහුදේ ආවේක්ෂණ කටයුතු වලට යොදවලා තියෙන්නේ. අපිට රතු මුහුදේ කියල විශේෂත්වයක් නැහැ. අපිට ඒ හැකියාව තියෙනවා. මුර සංචාරය සඳහා රතු මුහුදට යැවීමට නියමිත ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රාවකට එහිදී ඇතිවිය හැකි ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීමේ හැකියාව පවතින බව කපිතාන් ගයාන් වික්‍රමසුරිය පැවසුවේය. “දැනට වුනත් නාවික හමුදාව මුර සංචාරයක් සඳහා යන විට ඇතිවන ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්න සුදානම්. ලංකාවේ හෝ වෙනත් මුහුදක වුනත් එන ඕනම අභියෝගයකට මුහුණ දෙන්න සුදානම් වෙලා ඉන්නේ. එහෙම ගැටළුවක් නැහැ. එල්.ටි.ටි.ඊ. සංවිධානය එක්ක කරපු යුද්ධය වගේ නෙමෙයි රතු මුහුදේ මුර සංචාරයකට ගියොත් අපිට වෙන අභියෝග තියෙනවා. ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියලා අපි හඳුනාගෙන ඒ ගැන පුහුණු වෙලා මනා සුදානමකින් තමයි අපි ඒ දේට යොමු වෙන්නේ. රතු මුහුදේ මුර සංචාරය සඳහා පිටත් කර යැවීමට හැකි ඇඩ්වාන්ස් AOVP කැටගරි එකේ නෞකා 05ක් තියෙනවා. ඒ නෞකාවන් රතු මුහුදේ මුර සංචාරයන් සඳහා යොදවන්න හැකියාව තිබෙනවා.” ඔහු සදහන් කර සිටී.

මැදිහත් නොවුනොත් ජනතාවගේ බඩට වදීද ?

සාමාන්‍ය ජනතාවට රතු මුහුදට අපේ නාවුක හමුදාව යැවීම ඔවුන්ගේ ජීවිත තර්ජනයට බලපාන බවට වන විපක්ෂයේ බිය ගැන්වීම් පමණක් ප්‍රචාරය කරතත් මෙම මැදිහත්වීම නොවුනහොත් සිදුවිය හැකි විපාකයන් පිළිබද අවබෝධයක් නැත. එය කොතරම්ද යත් සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකයට බලපෑමේ තරම් විමසීමෙන් අවබෝධ කරගත හැකි වනු ඇත. රතු මුහුදේ යාත්‍රා කරන වෙළඳ නෞකාවලට යේමනයේ ‘හූති’ කැරලිකරුවන් ගෙන් එල්ලවන තර්ජනයන් හේතුවෙන් මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා එල්ල විය බලපෑම පිළිබද අදහස් දක්වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ජී. ඉලමනාදන් සදහන් කර සිටියේ පවතින තත්ත්වය හමුවේ භාණ්ඩ මිල ඉහළ යෑම සිදුවීමේ හැකියාවක් පවතින බවයි.

“මිල ගණන් වැඩි වෙනවා. මොකද නැව් වලට රතු මුහුද හරහා එන්න බැරි නිසා ගොඩක් ඒවා වෙන මාර්ගවලට ඩයිවර්ට් කරලා තියෙන්නේ. ඒ නිසා අමතරව යන වියදම් එයාලා ඇඩ් කරනවා. එතකොට බඩු වල ගණන් වැඩිවෙනවා. ඒක අපි ගෙවන්න වෙනවා. සාමාන්‍යයෙන් රතු මුහුද හරහා රටට එන ප්‍රධාන අත්‍යවශ්‍ය භාණ්ඩ වෙන්නේ සීනි, ධාන්‍ය වර්ග සහ පරිප්පු වගේ දේවල්. අල සහ ළූණු වර්ග හැර අනෙක් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග දැනට අපිට මාසයකට අවශ්‍ය තොග තිබෙනවා. නමුත් මේ තත්වය මාසයක් දෙකක් ගිය පසුව තදින් බලපෑමට හැකියි. මේ නිසා අපේ රටේ මැදිහත්වීම මේ ගැටළු නිරාකරණයට අනිවාර්යක් වෙනවා.

මේ අනුව රතු මුහුදට ලංකාවේ මැදිහත්වීම යනු රටේ ආර්ථිකයට මෙන්ම කලාපීය ලෙස රටක් ලෙස නිල් ආර්ථිකයක් මත දීර්ග කාලීන සැලසුම් සකස් කරන්නේ නම් මුහුදේ බලය රැක ගැනීම අපට වැදගත්වීම අනිවාර්යයකි. ආසියානු කලාපයේ සාගරය මතට ඉදිරි ආර්ථික බල ප්‍රබවයන් සංවර්ධනය කිරීම දිශානතිකයකට මෙහෙය වන්නේ නම් එකී සාගරය ආරක්ෂා කිරීම මේ රටේ ප්‍රබලතම කාර්යයකි. එයට මැදිහත් නොවන්නේ නම් ඉදිරි දශක ගණනාවක ආර්ථිකය හා සංවර්ධනය සම්බන්ධයෙන් කතා කිරීමවත් නොකළ හැකි වනු ඇත.
ලිං මැඩි ප්‍රතිපත්තිවල රැදෙන කවර දේශපාලන බලවේගයක් වේද ඔවුන්ට එසේම සිටීම හැර බලයක් හෝ නායකත්වයක් මෙන්ම රාජ්‍යතාන්ත්‍රිකත්වයක් සම්බන්ධයෙන් මැන බැලීමක් නැති වීම සාධාරණය එහෙත් සංවර්ධනය සදහා පියවර තබන ලංකාවක් සම්බන්ධයෙන් වන දිගු කාලීන මැන බැලීමක් ඇති කවර හෝ නායකයෙකු වේද ඔහු මෙම ක්‍රියාවලියේ පංගුකරුවෙකු හෝ මැදිහත්වන්නෙකු විය යුතුමය. එසේ නොමැතිව ශ්‍රි ලංකාවේ සංවර්ධනයක් දැකිය නොහැකි වනු ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කර සිටිනුයේ එකී ඓතිහාසික කාර්යාවලියවීම අනාගතය දෙස බලන්නෙකුගේ ඒකායන පරමාර්ථයන් ඉටු කිරීමක් වනු ඇත. අනාගතය ගොඩ නැගෙනුයේ එහෙව් නායකත්වයක් මත වීම දෙවරක් සිතිය යුතු නොවන කරුණකි.

කේ.පී. අයි. ප්‍රියංගනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *