මාතර මහ කැරැල්ල- ලුඩවැයික් වාක්හානර්- පරිවර්තනය නිර්මාල් රංජිත් දේවසිරි
මේ සටහන ලියන අද 2024 අප්රියෙල් 05 වැනිදාය. 1971 අප්රියෙල් අරගලයට අදට වසර පනස් තුනකි. මේ වන විට ඒ සැමැරීමට එහි උරුමය වෙනුවෙන් පවත්නා ලංකාවේ දේශපාලන පක්ෂ දෙකකි. එසේම ඒ අතර හැත්තෑ එතේ අරගලයට සහභාගිවූ සහෝදරවරුන්ගේ එකමුතුවකින් එනම් හැත්තෑ එකේ සහෝදරත්ව සංසදය මගින්ද එය සැමරේ. මේ වන විට හැත්තෑ එතේ සහෝදරවරුන් සිටිනුයේ වියපත්වය. එහෙත් ඔවුහු මහත් උනන්දුවකින් සිය දේශපාලන මැදිහත්වීම සමරති.
ලංකාවේ දේශපාලන බලය උදෙසා කරන ලද සන්නද්ධ අරගයක් ලෙස හැත්තෑ එකට හිමිවනුයේ විශේෂ තත්වයකි. එහෙත් එය සමරනු ලබන්නේ පක්ෂ මට්ටමින් මිස ජාතික මට්ටමකින් නොවේ. අනෙක් අතින් බලය උදෙසා උතුරේ කරගෙන යන ලද සන්නද්ධ අරගලයද එවැනිම වැදගත්කමක් උසුලතද අද පවා එය සැමරීමට නිදහසක් නැත. නමුත් විය යුතුව ඇත්තේ මේ සෑම අවස්ථාවක්ම අපේ ඉතිහාසයේ අතිශය වැදගත් සංධිස්ථාන ලෙස සලකා ඒ අවස්ථා විවෘත බවකින් යුතුව අගැයුමට ලක් කරන්නට ඉඩ සැලසීමය. එහිදී ඒ කෙරේ වන සාධනීය මෙන්ම විවේචනාත්මක විවරණයක්ට ඉඩ තිබිය යුතුය.
අපේ ඉතිමහාසය පුරා නිදහස් අරගල ලෙස තවමත් ජාතික මට්ටමින් සමරනු ලබන්නේ 1818 සහ 1848 අරගල දෙක පමණි. ඉතිහාසය විෂය කරගත් විද්වතුන්ගේ මෙන්ම අනෙක් පාර්ශවයන්හිද වැඩිම උනන්දුවක් යොමුවන්නේද ඒ කෙරෙහිම පමණි. මේ පිළිබ්ව ලියැවී ඇති සහ ලියැවෙන දේද බොහෝය. එහෙයින් මේ අරගල දෙකම අපේ ඉතිහාසයේ සදානුස්මරණීය සැමරුම් බවට පත්ව තිබේ.
එහෙත් ඉතිහාසය යනු එසේ මහත් උත්කර්ෂයෙන් සමරනු ලබනා සිදුවීම් පමණක් නොව ඉතිහාසයේ වැලි තලාව යට වැලලී ගිය නැතිනම් සිතා මතාම වලලා දමන ලද සිදුවීම් වලද එකතුව බව අපට අමතක කළනොහැකිය. එවන් සැඟව ගිය අවස්ථා හාරා පාදා ගැනීමේ වගකීම ඇත්තේ පුරාවිද්යාඥයන් සහ ඉතිහාසඥයන්ටය. නමුදු මඅප තවමත් වැඩිපුරම කැණ බලනුයේ අටසිය දහ අට සහ හතලිස් අට පමණි.
මහාචාර්ය නිර්මාල් මාතර මහ කැරැල්ල පිළිබඳව පරිවර්තනයක් එලිදක්වන්නේ මෙවන් පසුබිමකය. එහිදී ඔහු සිය පරිවර්තනයට අගනා පෙරවදනක් මගින් දීර්ඝ පැහැදිලි කිරීමක් එක් කරයි. ඒ පෙරවදන මගින් කියවන්නා හට කෘතියට පිවිසීම ඉතා පහසු කරයි. නිර්මාල් තම කෘතිය මගින් අප කැඳවාගෙන යන්නේ අබේ ඉතිහාසයෙහි වැදගත්ම කාල පරිච්ඡේදයක් වන ලන්දේසි පාලන සමයෙහි රටෙහි හටගත් නිර්ප්රභූ කැරැල්ලක් වෙතටය.
ලංකාවේ ලන්දේසි පාලනය සහ පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ අබිලේඛන පිලිබඳ මනා අවබෝධයක් සහිත විද්වතකු විසින් රචිත කෘතියක වැදගත්ම කොටස් පරිවර්තනය කරමින් නිර්මාල් අප ස්පිට්ල් ගේ සුදු වැද්දා සහ සුදු ගෝනාගෙන් ඈතට කැටුව යයි. අපේ ඉතිහාසයේ ලන්දේසි පාලන සමය වටහා ගැනීමට සහ එහි ජන ජීවිතය මෙන්ම එහි චලනයන්ද වටහා ගැනීමට මේ කෘතිය සපයන ආලෝකය බෙහෙවින් වැදගත් බව කිව යුතුය.
ලංකාව සිය වෙළඳාම පිණිස වන මධ්යස්ථානයක් සහ සම්පත් රැස් කිරීමේ අගනා භූමියක් ලෙස භාවිතා කිරීමට පැමිණෙන ලන්දේසි පාලනය සහ ලංකාවේ රජු අතර පැවති වියවුල් සහගත සම්බන්ධතා මෙන්ම සාමාන්ය ජනයාගේ ජීවිත කෙරේ ලන්දේසි ආර්ථික වැඩ පිලිවෙල බලපෑ ආකාරය සහ එහිදී රටේ ජන ජීවිතයේ ඇතිවන වියවුල් සහගත බව සහ ජනතා නැගිටීම් හී ස්වරූපය මේ කෘතිය මගින් ඉදිරිපත් කෙරේ. මේ කෘතිය එහෙයින්ම අපේ යටත් විජිත ඉතිහාසය පිළිබඳ පූර්ණ කියවීමක් පිණිස මෙතෙක් සම්පූර්ණ නොවූ තවත් කොටසක් ඉදිරිපත් කරමින් වඩා විවෘත සහ තර්කානුකූල කියවීමකට අවකාශ විවර කරයි.
ප්රභූන්ගේ නායකත්වය මෙන්ම ඔවුන්ගේ බලය යටතේ වන ජනතා නැගිටීමක් වෙනුවට මාතර මහ කැරැල්ලේ නිර්ප්රභූ ජනතා මැදිහත්වීම සහ එහිදී ඉන් රටට සහ ආර්ථිකයට වෙසෙසින්ම පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම සහ ඕලන්දයට ඇතිවූ බලපෑම පිලිබඳව මෙහි ඉදිරිපත් කෙරෙන කරුණු පුළුල් සාකච්ඡාවක් පිණිස මාවතක් විවර කරයි. එහෙත් අවාසනාවට කොළඹ සරසවියෙහි පැවති හමුව හැරුණ විට මේ කෘතිය ගැන තවමත් පොදු සමාජයෙහි මෙන්ම විද්වත් පර්ශද වලද අවධානය යොමුව ඇති බවක් පෙනෙන්නට නැත.
මේ කෘතියෙහි පැවසෙන කරුණු මගින් මතුවන සිත්ගන්නා සුළු අංශයක්ද තිබේ. ඒ අප සාමාන්ය යෙන් විජිත පාලකයන් වෙතින් අපේක්ෂා නොකරන තත්වයකි. අප සාමාන්ය යෙන් කැමති විජිත පාලකයන් යටත් විජිතය නිර්දය ලෙස සූරා කමින් අතිශය ඉහල ලාභයක් උපයන්නේය යන ජනප්රිය අදහසම තහවුරු කරක්කටය. එහෙත් නිර්මාල්ගේ මේ මැදිහත්වීමෙහිදී අපට හමුවනුයේ පාඩු ලබනා තත්වයට පත් පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමකි. සූරා කන්නා අත ලාබ එකතුවීම වෙනුවට ඔහු පාඩු ලබන්නකුගේ තත්වයටට පත්වීම යනු අප පිලිගන්නට එතරම් කැමති තත්වයක් නොවේ. එහෙත් නිර්මාල්ගේ කරුණු දැක්වීම මගින් ඒ තත්වය සඳහන් කරනු ලබයි. සැබැවින්ම මේ එකී යුගයේ ඉතිහාසය පිලිබඳ කරනු ලබනා ගවේෂණයකදී පුලුල් අවධානයක් යොමු කළ යුත්තකි. එසේම මෙය කළ හැක්කේද නිර්මාල් රංජිත් දේවසිරි හටමය. ඉදිරියේදී ඔහු වඩා පලල් ලෙස මේ කෙරේ සිය අවධානය යොමු කරනු ඇත යන්න අපේ අපේක්ෂාවයි.
චූලානන්ද සමරනායක