Local News

මාතර කාන්තා සමුළුව නව දේශපාලන පරිවර්තනයක් – අනුර කුමාර දිසානායක

මාතර පැවැති කාන්තා සමුළුව නව දේශපාලන පරිවර්තනයක් උදෙසා මුල පිරිමක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි. ඔහු මේ බව පැවසුවේ පසුගිය 29 වන දින පැවැති ජාතික ජන බලවේගයේ කාන්තා සමුළුවක් අමතමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක සදහන් කොට සිටියේ
” දෙදහස් විසිතුන වසර නිමාකරලා දෙදහස් විසිතරට පය තබන්න තව දවසක් විතර තිබෙන්නේ. හැබැයි 2024 නව අවුරුදු උදාව වේලාසනින්ම මාතරට ඇවිල්ලා. මේ අපේක්ෂා සහගත බලාපොරොත්තු සහගත සතුට පිරුණු මුහුණුවල තිබෙන්නේ 2024 ජයග්‍රාහී වසරක් බවට පත්කර ගැනීමයි. භූ කම්පනයක් හේතුකොට ගෙන ලංකාවට සුනාමි අනතුරක් ඇති බව අද පාන්දර ප්‍රවෘත්තියකින් කියවුනා. පසුව දවල් එම තත්වය පහව ගියා කියලා නැවත ප්‍රවෘත්තියක් පළවුනා. නමුත් මාතරට ගැහැනු සුනාමියක් ඇවිත් කියලා මේ පිටිය දැක්කම පේනවා.

ගෙවී යන අවුරුද්දේ ජනවාරි මාසය ආරම්භ වුණේ මැතිවරණ උණුසුමත් එක්ක. ජනවාරි 05දා පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ පාලක කණ්ඩායම අපේක්ෂා නොකළ බලයක්, මැතිවරණ ව්‍යාපාරය තුළ ජාතික ජන බලවේගයට ගොනඟන්න අපි සමත් වුණා. ඡන්දවලට ඇති වන රැලි ඡන්ද කල්දැමීමෙන් නතර කරන්න පාලකයන් කල්පනා කළා. ඒ නිසා මාර්තු 09දා පැවැත්විය යුතුව තිබුණු පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25ට කල් දැම්මා. නැවත දින නියමයක් නොමැතිව කල්දැම්මා. අදටත් ඒ ඡන්දයට දිනයක් නියම කර නැහැ. මැයි, ජූනි මාසවන විට සමහර අය තුළ යම් අපේක්ෂා භංගත්වයක් තිබුණා. නමුත් අපට අත්හැරුණු තැන්, සාර්ථක කර ගත නොහැකිව තිබූ තැන්, සියල්ල සම්පූර්ණ කර ගනිමින්, අපි ඉදිරියට ආවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය පිහිටුවීම නිසා ආණ්ඩුව ඇතුලේ විශාල බියක් සහ කැළඹිල්ලක් ඇති කරමින් එය වර්ධනය වෙනවා. ඒ වගේම වෘත්තියවේදීන්ගේ සංවිධාන, ධීවර සමුළු, කාන්තා සමුළු පවත්වමින් දැවැන්ත ව්‍යාපාරයක් හැටියට ඉදිරියට ඇවිත් 2023 අභිබවා යන මහා බලගතු ව්‍යාපාරයක් හැටියටයි 2024ට අපි පා තබන්නේ.

තවත් අලුත් පියවරකින් 2024ට පා නගන්න අපි තීරණය කළා. චාටුබස්වලින්, බොරුවෙන්, කුඩා කුඩා මෙවලම් බෙදීමෙන් ගැහැනුන්ව රවටා ගන්න විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ සමත් වුණා. ඔහු ගොඩනැගූ දේශපාලන සංස්කෘතිය අපේ ගමේ ගැහැනුන්ව ඉලක්ක කර ගත් සංස්කෘතියක්. දැනුත් විවිධ අවස්ථාවලදී ඔහු එවැනි ප්‍රකාශ කළත්, අද ජාතික ජන බලවේගයේ මැදිහත් වීමෙන් හුදු ඡන්දයක් ලබාගැනීමේ ගැහැනිය වෙනුවට සමාජය පරිවර්තනය කිරීම සඳහා අත්වැල් බැඳගන්නා ගැහැනුන් බවට ඔසවා තබා තිබෙනවා. 2024 ජයග්‍රහණය ගැන අපටත් කුකුසක් තිබුණා නම්, අද එය මුළුමනින්ම ඉවරයි. අන් කවරදාටත් වඩා වැඩියෙන් අවදියෙන් සිටිය යුතු, කල්පනා කළ යුතු, ක්‍රියාකාරී විය යුතු, වෙලාවක් මේක. ඔබට දැන් මොනවාද ඉතිරි වී තිබෙන්නේ. අවුරුදු 13, 14 වයසේ දැරිවියන් පවා උපදේශන සේවාවන් ලබාගත යුතු තත්වයට සමාජය බිඳ වට්ටවා අවසන්. අපේ රටේ සංස්කෘතිය, බැඳීම, මානව සම්බන්ධතා එක්ක අම්මා සහ දරුවන් අතර බැඳීම කොතරම් ප්‍රබලද? දැන් ඔබට ඔබේ දරුවා පිළිබඳව බලාපොරොත්තු තැබිය නොහැකි මේ සමාජය වෙනස් කිරීමට පෙළ ගැසිය යුතුයි. සමහර දරුවන් විශාල වශයෙන් මත්ද්‍රව්‍ය උවදුරේ ගොදුර බවට පත්වීමෙන් මව්වරුන් සහ සොහොයුරියන් විශාලතම කම්පනයකට පත්වී සිටිනවා. ඔබගේ දරුවා එවැනි ඛේදනීය ඉරණමකට ගොදුරු නොවේ යැයි ඔබට කිව හැකිද? සමාජය කඩා වැටීමේ මහා ව්‍යසනයේ ගොදුර අපේ රටේ ගැහැනිය සහ දරුවන්.
නිල වාර්තාවලට අනුව පවුල්වලින් 20% ගැහැනුන් ගෘහස්ත හිංසනයට ගොදුරුවන බව හෙළිකර තිබෙනවා. සතුට, විනෝදය, ජීවිතය නැති මිරිකුණු ගැහැනුන් සමුදායක් අප ඉදිරිපිට ඉන්නවා. මෙය අපි වෙනස් කළ යුතුයි. ඊයේ නිකුත් වුණු වාර්තාවක් අනුව අවුරුදු 3ත් 16ත් අතර පාසල් යන දරුවන්ගෙන් 55%කගේ වියදම් කපා හැරලා. පොත් සහ පාසල් උපකරණ මිලදී ගන්න බැහැ. තවත් සියයට හතළිස් ගණනක් බාහිර ටියුෂන් පන්ති යාම අත්හැරලා. ජනවාරි පළවැනිදා සිට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා විශාල ප්‍රමාණයකට වැට් බදු ගහන්නේ, මේ පසුබිමේ සිටයි. ආර්ථිකයේ වැදගත් සාධකවලට, ආර්ථිකය ඉදිරියට යාම සඳහා බාධාවන භාණ්ඩ හා සේවාවවලට මෙයට පෙර වැට් බද්ද ගැහුවේ නැහැ. ඒ වගේම ජීවිතයේ අත්‍යවශ්‍යදේවලට ගෑස්, කිරි නිෂ්පාදන, පාසල් උපකරණ, මත පවා ජනවාරි පළවැනිදා සිට වැට් බදු ගහනවා. 2023දී දැනුණු ආර්ථික පීඩාවට වඩා වැඩි පීඩාවක් ජනවාරි පළවැනිදා සිට ඇති වෙනවා. වැඩකිරීමේදී පවුලේ ප්‍රමුඛයා වී සිටි ගැහැනුන් ජීවිතයේදී අන්තිමයා බවට පත්කර සිටින ජීවිතය ඕනෑද? ඒ වගේම මාතරින් කොළඹ යන සහොදරියන් නැවත ගෙදර එන තුරු වතුර උගුරක් නොබී සිටීමට තරම් ප්‍රවේශම් වෙනවා. තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට පහසුකම් සලසා නැති මෙහෙම ජීවිතයක් තවදුරටත් ඕනෑද? මේ රටේ පාලකයන් 75වසරක් අපේ රට හපයක් බවට පත්කළා හා සමානවම කාන්තාවන් හපයක් බවට පතකර තිබෙනවා.

ගැහැනියක් හැටියට ඉපදී ගැහැනියක් හැටියට මිය යන විට තමන්ගේ ජීවිතයේ අත්පත කර ගත යුතු අවම උවමනාවන් වත් ඉටුකර ගත නොහැකි වු ගැහැනියක් හැටියට මිය යාමට සලසා තිබෙන ක්‍රමය අපි වෙනස් කරන්න ඕනෑ. රූපවාහිනී නාලිකාවල උදේ හතහමාරෙන් පස්සේ සාස්තර කියන අය ගෙන්වා ගන්නවා. මිථ්‍ය මතවලින් කාන්තාවන් රවටන්න විවිධ වැඩසටහන් උපයෝගී කර ගන්නවා. සමහර සාස්තරකාරයෝ රූපවාහිනි නාලිකාවලට ගෙවීමක් කර, කාලය ලබා ගන්නවා. ඉන්පසු ප්‍රචාරය කරන වෙළඳ වැඩසටහන් පවා එහෙමයි. හැබැයි ජාතික ජන බලවේගය අද ගැහැනුන්ගේ ශක්තිමත් කර තිබෙන්නේ එවැනි විෂබීජවලට හැරවිය නොහැකි ආකාරයටයි. දේශපාලනය වෙනස් කිරීමෙන් තොරව ඛේදවාචකයන්ගෙන් මිදී ජීවත්වීම ආරම්භ කරන්න බැහැ. ඒවගේම දේශපාලනයෙන් පමණක් මේ වෙනස් සිදුකරන්න බැහැ. මේ කඩා වැටුණු ආර්ථිකය ප්‍රකෘතිමත්භාවයට පත්කරන්න බිඳ වැටුණු සමාජය කාන්තාවන් ලෙස තමනගේ මව, සොහොයුරිය වශයෙන් බලන සමාජයක් ගොඩනැගිය යුතුයි. ගැහිනිය තවදුරටත් කෙළිබඩුවක් වෙනවා වෙනුවට යුක්තිය, සාධාරණත්වය, සමානත්වය පදනම් කර ගත් ආධ්‍යාත්මයට යළි පණ දිය යුතුයි. ඒ සියල්ල කළ හැකි වන්නේ දේශපාලන පරිවර්තනයකින් ආරම්භය ගැනීමෙන් පමණයි. නව පුනරුද ව්‍යාපාරයක් නවජාතික ව්‍යාපාරයක් ඔස්සේ දැවැන්ත සමාජ පරිවර්තනයක් සිදුකළ යුතුයි. ජාතික ජන බලවේගයේ ගැහැනු ව්‍යාපාරය කියන්නේ මේ රට පුනරුදය කරා ගෙනයන ප්‍රධානම බලවේගය වන පංගුකාරියන්ගේ සංවිධානයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *