Art

පබසර ලියන්නී – (තඹරමලී 3) – තමාරා ජයතිලක

නොනවතින
සැඩසුළං මැද
රොන් උරන 
ගුමන කිරිලිය
නොපිට තටුලන

~ පබාෂිනී හේරත් ~

(ගුමන කිරිලිය – humming bird)

කෙටිකවිය යනු සාහිත්‍යාංග අතර අපූරු ශානරයකි.
සිංහලයේ පැරණිම කෙටි කවිය හමුවන්නේ අනුරාධපුරයට ආසන්න මරදන්කඩවල කොස්ගම කන්ද විහාර සෙල්ලිපියෙනි.
එය ලියවී ඇත්තේ ගී ශෛලියෙනි.

මේ කව ලියවී ඇත්තේ එවන් ඉපැරණිම ශෛලියක් වන ජපන් “තන්ක” හෙවත් කෙටි ගී ඇසුරු කරගෙනය.

මහරක්ඛධ ගමණි අභයහ
දෙවන පියතිශ (ර)මණි, බ(රි)ය මිලකතිශ විහරෙ
ක(රි)තෙ කතිය

මිලක්කතිස්ස විහාරය ගාමණි අභය දේවානම්පියතිස්ස රජුගේ රමණීය භාර්‍යාව වූ කතිය බිසව විසින් කරවන ලද බවයි ඉන් කියවෙන්නෙ.

බොහෝ සන්න සහිත මහා කාව්‍යයක් ද ,පරිච්ඡේද ගණනාවකින් යුත් මහා ග්‍රන්ථයක්ද එක මිටට හකුළුවා පාඨකයා ඉදිරියේ තැබීමට ප්‍රතිභා සම්පන්න කෙටි කවියකුට ගතවන්නේ නිමේෂයකි .

පබාෂිනිය පබසර ලියන්නියක් බව මා කියා ඇත්තේ වරක් දෙවරක් නොවේ.
අද නැවතත් ඈ මනරම් කව් කිරිලියකන්හා අප ඉදිරියේ ප්‍රාදුර්භූත වන්නීය.

ගුමන කුරුල්ලා හෙවත් bee hummingbird නමි ඉතා කුඩා කුරුල්ලා සත්ව ලෝකයේ කුඩාම කුරුල්ලාය. දිගින් සෙම්. 3ක් 4ක් පමණ වන අතර කිරිලිය ඊටද කුඩාය.

ගුමන කුරුල්ලා අපූරු නාදයක් නිකුත් කරන බවද නොරහසකි. මීට පෙර අපේ ළහිරු දෙද්දුවකුමාර සොයුරාද හමිංබර්ඩ් කුරුළු කවියක් ලීවා මතකය.

පක්ෂීන් අතර වේගයෙන් ම වේගයෙන්ම පියාපත් සලන්නේ ගුමන කුරුල්ලා ය .එය තප්පරයකට වාර 70ත් 80ත් අතර ගණනකි
එහෙත් කිවිඳිය ග්‍රහණය කරගෙන ඇත්තේ ගුමන කිරිල්ලියගේ සූපාවීමේ හැකියාවයි. මෙය ගුමනුන්ට ලැබී ඇත්තෙ ඔවුනගෙ පියාපත් නොනැමී ඍජුවම පැවතීම නිසාය .
මෙලෙස සූපා වෙන ගමන්ම ඉදිරියට මෙන්ම පසුපසටද පියෑඹීමේ විශ්මිත දක්ෂතාවයක් මේ කුඩා කුරුල්ලා සතුය .

නිබල සූපාවේ යෙදෙමින් කොතරම් වේගයෙන් සුළං හැමූවද, එහි වේගයට සමාන්තර වෙමින් එක තැන රැඳෙමින් තම ආහාර සපයා ගැනීමට ගුමන කුරුල්ලන් තුළ ඇත්තේ අපූරු දක්ෂතාවයකි .
පබාෂිනිය ග්‍රහණය කරගත්තේ එයයි.

සුබල සූපාවීමේදී සුලඟ සාධකයක් නොවන බැවින් ඒ ගැන අවධානය යොමු නොකරමි.

මෙය අනර්ඝ කෙටි කවියක් වන්නේ ,ගුමන කිරිලියගේ චර්‍යාවන් විදාරණය කෙරෙමින් ඇය සමාජයට මුදා හරින ස්වීය දර්ශනය නිසාය.
මෙය බොහෝ මානයන් ට ආදේශකරගෙන කියවා ගත හැකි කෙටිකවියකි.

සමාජ දේශපාලනික ආර්ථික සැඩ සුළං ප්‍රවාහයන්ට හසුවූ දහසකුත් ගුමන කිරිලියන් අපි උදේ හවා නොදකිමු ද ?

ඉදිරියට පියාඹනවාට වඩා පසුපසට පියාඹමින් ද , මහා ජන සන්නිපාතයක් මැද රැකියා නිමවී විවිධ වාහන වල තෙරපී පැමිණ මාරි විස්කෝතු සියයක් ගන්නා අපේම සොයුරියක තුළ මම ඒ ගුමන කිරිල්ලිය දකිමි.

අවුවැසි සුළඟින් පීඩා විඳිමින් මාළු තට්ටුවේ, එළවළු තට්ටුවේ ජීවිතය හෙට්ටු කරන සොයුරියන් තුළ ද මම ඒ ගුමන කිරිල්ලිය දකිමි .

සැඩ සුළඟට නොබියව මුහුණ දීමට මව් කිරිලියන්ට ඇත්තේ නිර්භය කමයැයි මම නොසිතමි.
එය ඔවුනට හිරු රැසින් ද ,සඳ දියරෙන් ද
පොළවේ නැවුම් පුසුඹෙන් ද දායාද වූ මව් කමයි .

පබාෂිනිය ගේ මේ කව නෙත ගැටි නිමේෂයේ මා සිත ඇඳි සේයාවක් විය.

නගරසභා කුණු ලොරියේ පුවරුවේ යාන්තම් එල්ලී නගර පිරිසිදුකරණයේ ගිය මවක්.
එවන් අනන්ත ගැටුම් මැද ජීවිතය ජීවත්කරන්නට වෙර දරන ගැහැණු……..

ඔවුන් සැබෑ ගුමනියන් නොවේයැයි කාට නම් කිවහැකිද?

මේ කව තුළ පබාෂිනිය ගේ තියුණු ජීවන දැක්මද මානවවාදී හැඟීම්ද විකාශනය කෙරෙනු අපට ස්ඵර්ශ කළ හැක.

ටී.එස්. එලියට් කවියා වරෙක පැවසූ පරිදි සැබෑ කවියා තමාගේ ප්‍රබන්ධ කිරීම තුළ තමා ජීවත්වන යුගයද ප්‍රබන්ධ කරයි.

ආදර පබාෂිනිය ඔබට මගේ සෙනෙහස….

තමාරා ජයතිලක
එඩ්මන්ටන් සිට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *