Local News

දමිතා සහ සැමියා සැකකරුවන් කරයි

කොරියා රටේ රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයන් රවටා රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න හා ඇගේ සැමියා සැකකරුවන් ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (මාර්තු 6) කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත දැන්වීය.

එම දෙදෙනාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම් පමණක් ඔවුන් සැකකරුවන් ලෙස නම් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා කළ දැනුම් දීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔවුන් දෙදෙනා එම සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කරන බව මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දුන්නේ ය.

එම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන බැවින් තමන්ට අපේක්ෂිත ඇපයක් ලබා දෙන ලෙසට දමිතා අබේරත්න හා ඇගේ සැමියා නීතිඥවරයෙකු මගින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඊට අදාළව ලිඛිතව කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

එම අපේක්ෂිත ඇප ඉල්ලීමට අදාළ කරුණු ඊළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන බව දමිතා අබේරත්න යුවළ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැන්වීය. ඒ අනුව, දමිතා අබේරත්න යුවළගේ මුදල් වංචා සිද්ධිය හා අපේක්ෂිත ඇප ඉල්ලීම මෙම මස 20 දින කැඳවීමට ද අධිකරණයෙන් නියෝග කෙරිණි.

එම මුදල් වංචා සිද්ධියට අදාළව දමිතා අබේරත්න යුවළට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙරදී අධිකරණයෙන් ඉල්ලීමක් කළ නමුත් සැකකරුවන් ලෙස නම් කර නොමැති පුද්ගලයන්ට නොතීසි නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *