චන්ද්‍රාවතරණය අභියස – ( තඹරමලී -01)
ගිම්හානය වර්ෂාවෙන් ගෙවීයාම එඩ්මන්ටන් නගරයට අමුතු අත්දැකීමකි.
“සොබා දහමට දෝෂ නොගල්ලා ” යැයි කිරිඅම්මා ඉන්නාතුරු කිව් කතාව සිහිපත් කරමින් මම සුවපහසු පුටුවක් මත වැටී ඉස්තරම් ඩාජිලින්ග් තේ පෝච්චියක් සමඟ සුහද ගණුදෙනුවක නිරතවෙමින් පිටත දොඹ වැටෙන වැස්සට කන්දෙමින් රූපවාහිනී තිරයේ දිස්වන සජීවී චන්ද්‍රාවතරණය නරඹමින් සිටියෙමි.
කාලය ගෙවා දැමීමට කලින් තෝරාගත් තුෂාර ගේ Thushara Senevirathne “ගැහැණු” කවියක් ද තේ සුවඳ හා මුසුවීමට ඉමහත් කැමැත්තෙන්ම එකතු වූවාය.
මම ඉන්දියාවට මහත්සේ ඇළුම් කරමි.
ඉන්දියානු සංගීතයටද,සිනමාවටද සාහිත්‍යයටද ආදරය කරමි. උම්රාවෝ ජාං චන්ද්‍රමුඛී,සිට ගංගුබායි දක්වා “ළඳුනට” ස්නේහවන්ත වෙමි. “හීරාමණ්ඩි” එනතුරු ඇඟිලි ගනිමි.
දුර්ගාද, පාරෝද, මස්තානිද, ලංකාවෙන් දීග ගිය පත්මාවතී දේවියද ඔවුන් අතින් උත්කර්ෂයට නැංවුණ අයුරු ප්‍රහර්ෂයෙන් යුතුව සිහිපත් කරමි.
ලෝකේ කොයි මුල්ලක සුඛිත මුදිතව ජීවත්වුවද ඉන්දියානුවන් සිය සංස්කෘතික හරයන් හානිකර නොගැනීම ගැන මම ඔවුනට ස්තූතිවන්ත වෙමි. ඔවුන් සුවාසූ කෙළක් දේව මණ්ඩලයකට ගෞරව කරමින් වන්දනා කිරීම දෙස මම සැදැහැ සිතින් බලා සිටිමි. කලකට ඉහත කදිරේෂන් මුදලාලිගේ නංගිලා අපේ නිවස පසුකරමින් යන විට ඇසුණු පාදජාලා හඬින් සිත ඇති වූ චමත්කාරයම “Saavariya ” සිනමා සිත්තමේ අඳුරු සෙවණැලි අතරින් දිවයන සකීනා ගේ
පාදජාලා වලින් නික්මුණු නදින්ද විඳගනිමි.
කල්කතාවේ හෝ මුම්බායි හෝ මයිසූර් හෝ චෙන්නායි හෝ වීදියක සිට උදෑසනක සියුම් බෲ කෝපි සුවඳකට මුසුව වේගයෙන් ඇදී යන, ළඳක හිස රැඳි පිච්චමල් සුවඳ , දෙවොලක ආලෝකය මැදින් ගලාඑන ඕම්කාරය පරිද්දෙන්ද , භගවත්ගීතාවෙහි ශ්ලෝක රාවයක් පරිද්දෙන්ද මා සිත් ගර්භයෙහි පහන් හැඟුම් උපදවයි.
සතිශ් ධාවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ චන්ද්‍රයාන් 3 මෙහෙයුම් මැදිරිය තිරයේ දිස්වෙද්දී පිරිමි විද්‍යාඥයන් හා උරෙනුර ගැටෙමින්ද වරෙක ඔවුන්ට ඉදිරියෙන් සිටිමින්ද මේ ඉන්ද්‍රජාලික සාරි හා “මල්ලිය පූ” විස්කම් පාන ආශ්වාදය විඳිමින්ම කවියේ පේළි අතර නෙත ගෙනයමි.
“රැකීම”
ගල් වලේ ගිනි කාශ්ටකේ
පත්තිනි මවුන්
ඇඟිලි තුඩු ලේ වගුරමින්
කිරි පොවනවා.
හෙටක අරැනලු හීනයට
ගල් තලනවා.
තම කුසින්, දිරිය දුන්
රතු රුහිරයට වග කියනවා.
දරුවන්ගෙ අබිමන් රකිනවා
මගේ හිත සසල වූ.බව නොකියාම බැරිය. ඒ අපි ඉන්නේ කොතැනදැයි සාක්ෂාත් වූ නිසාම පමණක් නොවේ. විද්‍යාඥවරියන් මෙන්ම වර්ණවත් සාරි හැඳි කතුන් දරුවන් ඇක හොවාගෙන දහසකුත් එකක් මෙහෙකම් කරනු දෑසින්ම දුටු නිසාය. ඒ අම්මලාද ලෝකයටම පොදු “පත්තිනි මවුන් ය”. තම සුතන් රැක්මට ලේ කඳුළු හලන්නට අම්මලා පස්සට ගියේ කවදාද?
“ඇඟිලි තුඩු ලේ වගුරමින්.කිරි පොවනවා”
අපහසුම තැනකදීත් මුල්තැන කිරිකැටි කුසගින්නටමය.
චන්ද්‍රයාන් 3 මෙහෙයුමට නායකත්වය දුන් රිතු කදිර්වාල් ශ්‍රීවාස්තව් ගේ බැරෑරුම් බැල්මක් රූපවාහිනී තිරය මත දිස්වේ.
සාර්ථක “අඟහරු කක්ෂගතවීමේ මෙහෙයුමට”.(Mars Orbit mission )මෙන්ම අසාර්ථක වූ චන්ද්‍රයාන් 2 මෙහෙයුමටද ඕ
දෙවැනි මෙහෙයුම් අධ්‍යක්ෂක ලෙස ශක්තිය දුන්නාය.
ඇගේ විද්‍යාඥ සිහිනය සැබෑකරන්නට රැකියාවන් දෙකක් කරමින් ,අනෙක් දරුවන්ද රකිමින් දිරි දුන් මවට දියණිය යන මඟ ගැන කිසිදු අවබෝධයක් වීයැයි නොසිතමි. ඈ තමන් ලොවට දුන් “රතු රුහිරයට වග වීම” වෙනුවෙන් ගුණ ගී බලාපොරොත්තු වූවාද කියාත් නොදනිමි.
එහෙත් ඈ දරු අබිමන් රැකි බව නම් නියතය. ඔබේ කවියක සරලව තැවරුණ ඒ ඔවුනට අපට පොදු මාතෘත්වයේ සුවඳ මඟහැර මට යා නොහැක. මමද ඒ ප්‍රවාහයේම කොටසක් බව මට දැනෙන හෙයිනි.
ටික කළකට ඉහත මගේ මෙසෙන්ජරයට ආ ගීයක් මා රින 40 ට ඝනීභවනය කළ බව මතකය. කවියක් ලෙස එය ඊට කළින් දුටුවද ,ගීයක් ලෙස එය වේදනාත්මක සමාජ ව්‍යසනයක පෙරනිමිති පෙන්වීය.
මේ කව් ගී ලියන උදවිය ” ගණිකාව” කියන වචනයේ නියම අරුතවත් දන්නවාදැයි මම සංකා පහළකරමි.. ගණිකාව (courtesans) නැතහොත් නගරශෝභනිය නමින් පැරණි ඉන්දියාව හැදින්වූයේ රජයෙන් වැටුප් ලබන වෘත්තියකි. සංගීතය නර්තනය සාහිත්‍යය මැනැවින් හැදෑරූ මේ කතුනට රජු හා උසස් නිලයන්ද, ව්‍යාපාරිකයන්ද, රාජ්‍ය අමුත්තන්ද කලාවෙන් පිනවීමට ඔවුන් පුරුදු පුහුණු කරන ලදී. වෙන කරන්නට දෙයක් නැතුව පහසුවට රහස්මඟින් මුදල් ඉපයීම යනු ගණිකා වෘත්තිය නොව සිරුර මස විකිණීමය. යමෙක් එය උත්කර්ෂයට නංවන්නේ නම් එතැන ඇති කලාවක් නැත. ඔවුන් ලිංගික තැරැව්කරුවෝය.
යථෝක්ත ගණයේ ගණිකාවන් නොමැතියෙන් දැන් ඔවුන් හුදෙක් ලිංගික වෘත්තිකයන් පමණි. ඉන්දියාවේ “රතු එළි” නගර හා වීදි බොහොමයක මොවුහු සිය වෘත්තිය නිදහසේ කරගෙන යති. ලෝකයේ කොතනත් එහෙමය..කොල්කතාවේ සොනගාචි හෝ මුම්බායි වල කාමතිපුර් කියා වෙනසක් නැතුව ඔවුහු මිනිසුන්ට හෝ ගැහැණුන්ට හෝ සේවා සපයති.
ලංකාවේද රතු එළි නගර බොහෝ වේ. ඉන්දියාව නම් එය නීතිගත කර ඔවුන්ගෙන්ද බදු අයකර ගනී. ලංකාවේ නම් හොරෙන් හම්බකර අහුවුණාම පවතින ආණ්ඩුවට දොස් කීම “ගණිකා” කලාවයි.
තාර උණු වෙන මද්දහන
මාවත මැදත්.
පතිනියන් මිල කෙරෙනවා.
පොඩ්ඩියන්ගේ අම්මලා…
පිරුවට ඇදන්
උණු තාර පොලවට ඉසිනවා
දාහයෙන් මිරිකා දැමූ අභිමන සොයා
දෑස ඔසවා බලනවා.
දෑත කරගැට ගනිනවා.
ඒ පහසු රැකියාවට නොබැස සමහර “පොඩ්ඩි”ලාගේ අම්මලා තම ශක්තිය මිළ කරන හැටි ඔබේ පන්හිඳ අසුලාගත් අයුරු මම විඳිමි. ගිනිකූටකේ තාර බාල්දි ඔසොවාගෙන පිරිමින් හා ගැටෙමින් දුවන මේ අම්මලා “පිරුවට” ඇඳි බව කීමෙන් ඔබ සංජානනය කළ පින්වත් හැඟීම දනවන්නට අන් වචනයක් නම් නැත. කම්කරු ලියක ඇඳි පිරුවටය ඇය සුරැකි ස්ත්‍රීත්වයේ අභිමානය නොවන්නේදැයි මම නැවුම් තේ පහස විඳිමින් සිතමි.
තම මව ලිංගික වෘත්තිකයෙක් බව දැනගත් දා දරුවකු සිත ඇතිවන කම්පනය හා පශ්චාත්තාපය ගැන අවබෝධ කරගත නොහැකි කිසිම ගැහැණියක් දරුවන් නොවැදිය යුතුය. අම්මලා “පොඩ්ඩි” ලාට අභිමානය අහිමි නොකළයුතුය. එය රැකියාව නම් ඊට අදාළ වෘත්තීය ගරුත්වය හා රැකවරණය නීතිය මගින් ලබාගැනීමට ඔවුන් ඉදිරිපත් වියයුතුය. නැවත “ගංගුබායි” සිහිපත් වේ.
පිටත වැස්ස අයිස්කැට වර්ෂාවකට (hail) පෙරළුණ බව දැණුනි. කුඩා ටෙනිස් බෝල මෙන් අයිස්කැට ජනෙල් වලට වදිනු බලමින් තව තේ කෝප්පයක් පුරා ගතිමි.
තිරය මත අති උත්කර්ෂවත් මොහොත සනිටුහන් කරමින් වික්‍රම් හා ප්‍රාග්‍යාන් පියාපතක් සේ සිනිඳු සැහැල්ලුවකින් සඳේ දකුණු අර්ධගෝලයට නුදුරින් පියසැරිය නිමකරනු පෙණුනි. ඉතිහාසය අලුතෙන් ලියමින් මේ යානා දෙක සඳ මත පදිංචිය ඇරඹූ අප්‍රාණික ඉන්දියානුවන් වනු ඇත..
බැංගලූර් හි මෙහෙයුම් මැදිරිය ප්‍රීතිඝෝෂාවෙන් ඉපිලෙනුද, වර්ණවත් සාරි හා පිච්චමල් එකිනෙකා වැළඳගන්නා ආදරණීය මොහොතද දේශයක සැබෑ අභිමානයේ නිමේෂය විය. මුළු ලෝකයක් බලා සිටිද්දී සිය සංස්කෘතික අනන්‍යතාවය ගැන සාඩම්බර වූ ඒ අභ්‍යවකාශ විද්‍යාඥවරියනට මම ගෞරව කරමි.
මගේ දැස් තිරය මත සෙව්වේ ඒ මෙහෙයුමට නායකත්වය දුන් ඔහුය….
තමිල්නාඩුවේ විල්ලුපුරම් හි දුම්රිය කම්කරුවකු වූ පලනිවේලු ගේ බිරිඳ අහළ පහළ උදවියට රෙදි මසමින් ඔහුට සහාය වූවාය. පළතුරු බීම සාදා විකුණුවාය. දෙන්නාගේ “සිම්පල් කොල්ලා” පී. වීරමුතුවෙල්, චන්ද්‍රයාන් 3 මෙහෙයුමේ ප්‍රධාන පාලන අධ්‍යක්ෂක වීය. විල්ලිපුරම් ගම්වාසීන් තම පසෙන් උපන් මේ තද දුඹුරු විද්‍යාඥයාට ආසිරි පතමින් හෑම කෝවිලකම පූජා පවත්වා මෙහෙයුම සාර්ථකවේවායි පැතූහ. තමන්ගෙ ඇත්තෝ එහෙමය.. ඔහුගේ මූණ විල්ලිපුරම්හි සරු දුඹුරුපස් වැනි සාඩම්බර හිනාවකින් එළිය වී ඇත.
වීරමුතුවෙල් විද්‍යාඥයා හතළිස්වන දශකයේ මුල සිටියද ඒ පුද පූජා මැදිහත් සිතින් විඳගත් බව මට සහතිකය.
එඩ්මන්ටන් සිටින සියළුම ඉන්දීය විද්වතුන් ඉරිදා දවල් ගණදෙවි කෝවිලේදී හමුවිය හැකි බව මම අත්දැකීමෙන්ම දනිමි. ස්නායු ශල්‍ය වෛද්‍ය මෙහ්තාද, අක්ෂි ශල්‍ය වෛද්‍ය සංජේද, හෘදරෝග විශේෂඥ සුන්දරන් ද එකම මේසයේ හිඳ දිව්‍ය පූජාවට පසුව කෝවිලෙන් දෙන නිර්මාංශ ආහාර අතින්ම කති. මමද ඒ මේසයේ කොණක හිඳිමි. හැන්දක් ගන්නට නැගිටින්නට නොසිතා පායාසම් බීගෙන බීගෙන යන දොස්තර මෙහ්තා හදිසි ශල්‍යකර්මයක් ඇති බැවින් වැන්කුවර් නගරයට යන්නට සිය පෞද්ගලික ගුවන් යානය එන බැවින් ළහි ළහියේ අපෙන් සමුගනී. නැවත කඩිනමින් දුවවිත් මව ළඟ නැමී ඇගේ පා දූවිලි නළලේ තවරා ගනිමින් ආශීර්වාද ගනී.
කිරිඅම්මාගෙන් මෙන්ම මේ කඩිසර ඉන්දීය ගැහැණුන්ගෙන්ද මම බෝ දෑ උගත්තෙමි.
ඉන්දියාව ලබන සියලු ජයග්‍රහණයන් පසුපස මේ නම නොදන්නා කතුන්ගේ ධෛර්යය කැටි වී ඇති බවද දනිමි.
රැක දිනු සුතන්, සැඩ දිවි සයුරම පීනූ
දිවි පරදුවෙන් පැහැදූ දරුවන් මූණු
විකුණා ගන්න ඇඟපත ලස්සන නූනු
බඩගින්නටම ඇඳිවත ඉනුවද ගෑනු ???
මම අංශක 360 ක් කැරකී ගිය බව කිවයුතුය. මට එකතැන රැඳී සිටීමට අපහසු විය.පිටත අයිස් වැස්ස සැඩ වර්ෂාවකට පෙරළී තිබුණි. මම වැහිකබාය අඳිමින් එළියට බැස ඔහේ ඇවිද ගියෙමි. වික්‍රම්, ප්‍රාග්‍යාන් ,චන්ද්‍රයාන් 3 බෙනාරිස්, කැෂ්මියර්,මනිපුරි පිච්චමල් ශ්‍රේෂ්ඨ අබ්දුල් කලාම් මෝදි මා සමඟ ගැටෙමින් ඇවිදින්නට විය.
අපේ කමියුනිටි ශාලාවෙන් ඇසෙන ශබ්දය කුමක්දැයි තේරුම් බේරුම් කරගන්නට අපහසු විය්. මගේ දෙපා ස්වයංක්‍රීයව මා එහි ගෙන යයි. ප්‍රවේශ දොර ළඟ මා දන්නා හරිදීප් සිං කෝපි බඳුනක් අතැතිව මා පිළිගත්තේය. “Come come sister”
ශාලාවේ මෙගා තිරයක මෝදි අගමැති ජනතාව අමතයි.
“India is now on the moon”
නමද නොදන්නා ඉන්දියානුවෙකු මා වැළඳගනිමින් කෑගසයි.
මා අසල්වැසි උමා මා මුව පැණි පිරි ජලේබි වලින් පුරවාලයි.
” We did it sis, we did it. Jai Hind” !
ජෙය හින්ද් ! (භාරත මාතාවට ජය!)
ජෙය හින්ද්! මමද මිමිණීමි. ඔවුන්හා සමෝසා හා ලඩ්ඩු කමින් කෝපි බීවෙමි. මගේ හිතේ කම්පනයක් විය. මගේ දැස් තෙත්වූ බව සත්තය.
මා ආපසු ආවේ බරැති හදවතිනි. මම ඉන්දියාවේ අභ්‍යවකාශ මෙහෙයුම්.සියල්ලම.පාහේ නරඹා ඇත්තෙමි.අසාර්ථක වූ චන්ද්‍රයාන් 1 හා 2 පවා. ඒ මුදල් පාඩු ලෙස කිසිවකු ගණනය නොකිරීම ගැන මට ඇත්තේ ප්‍රීතියකි.
මම මුළු හදවතින්ම අබ්දුල් කලාම් නම් සුජාත ඉන්දීය පුතුට ස්තූතිවන්ත වීමි.
මේ පැසී ඇත්තේ ඔබ වපුළ බිජුවටයි.
මම උවමනාවෙන්ම තෙමෙමින් භගවද් ගීතාවේ මතක ගාථා මුමුණමින් ආවෙමි.
කර්මං එවාධිකාරස් තෙ මා ඵලේෂු කදාචනා”
(ඔබ මෙහි පැමිණියේ යුතුකමක් ඉටුකිරීමට විනා එහි ඵල විඳීමට නොවේ.)
ඔබේ කව් වල සරල සුගම භාවිතාව විඳින බොහෝ පිරිස අතරේ මම ද ගමන්කරමි. උදෑසන තුෂර බිඳක් සේ ඒ නැවුම් සරල භාවිතාවට ලොල් වෙමි..ඒ දැක්මට දහදිය හෙළා දරු රකින සමස්ත කාන්තාවන් වෙනුවෙන් ස්තූතිවන්ත වෙමි තුෂාරයනි.
Thushara Senevirathne .
එහි අවසනට බොහෝ ප්‍රියකරමි.
ඉතින් සමුගනිමි.
“කර්මං එවාධිකාරස් තෙ…කර්මං එවාධි…කර්මං…… මම තනිව මතුරමි.
තමාරා ජයතිලක
එඩ්මන්ටන් සිට