කවියක් මතින් ජීවිතය කියවීම, ” මාළුවෝ” – තමාරා ජයතිලක
” මාළුවෝ.”
විටෙක, නො පතන දේත්
ජීවිතය වෙනවා.
දුරින් රැඳුනත් සිතුම්
ආහ්ලාද දෙනවා.
ඈත තියෙනා සඳට
හිත පුරා,
නිඳි වරා,
ගීත ලියැවෙනවා.
හිමි වීම හිත ඉරන
දිනයකුත් එනවා.
දෙනි පුරා, නිල් කැලේ
පිපෙන අතු පුරවලා.
මල් බිමට හැලෙන ලෙද
හිරුට දුක කොඳුරලා.
නුඹත් මම අපි නොවෙන
තැනක අපි නැවතිලා.
බලා ඉමු ඉසිඹුවක්
හිමිවීම………..
හීනයට පවරලා
මාළුවන් ගගේ උඩු
සැඩවරට පෙම් බැඳී
සොයා යන උස් තැනක
අවසානයක් රැදී
ඛේදයන් සඟවමින්
ගලා යන ලෙස නදී
වේදිතය විඳගැනුම
ප්‍රේමයයි නම් ලදී.
Thushara Senevirathne
24/12/2023.
මුළු ජීවිත කාලය තුළ මම කව් ගී කොපමණ කියවා ඇත්දැයි නොදනිමි.
මගේ වින්දනයට හේතු වූ කවිද, ගීතද, ලියවිලිද අනායාසයෙන් මගේ සිත තුළ තැන්පත් වීම මට වළකාලීමට නොහැක. එවන් ලියවිලි දහස් ගණනක් මගේ හිතේ තැන්පත් වී ඇති බව ඔබද දනී. ලිවීම කලාවක් වන්නේ එය පාඨක හිතේ තැන්පත්වන පමණටය. යමක් කියවීම සහ විඳීම දෙකක් වන්නේ එනිසා බව සිතමි.
ඔබේ කව් ගැන ලිවීම ඇතැම්විට මට අතපසු වේ.
නමුත් ඒවා “කැටපත් පවුරෙන් සොරකම් කළ ගී” මෙන් සිත තුළ රහසේ රඳවා රසවිඳුමේ පුරුද්දක් මට ඇත. සිංහලෙන් ලියන එවන් කවි කිවිඳියන් කිහිපදෙනෙක්ම මගේ ප්‍රියතම ගොන්නට අයත්ය.
ඔබේම කවියක ඔබ නැති විට එය ඔබට පෙර මට දැනෙන්නේ එහෙයින්මදැයි නොදනිමි.
විටෙක, නො පතන දේත්
ජීවිතය වෙනවා.
දුරින් රැඳුනත් සිතුම්
ආහ්ලාද දෙනවා.
ඈත තියෙනා සඳට
හිත පුරා,
නිඳි වරා,
ගීත ලියැවෙනවා.
හිමි වීම හිත ඉරන
දිනයකුත් එනවා.
ප්‍රාර්ථනා නොකරන දේ උකුළට වැටීම
ජීවිතයම නොවේද? සඳ දුර වුවත් සිතේ හිමිකරුට නිදිවරා ඊට කව් ගී ලියන්නට සිත් පෙමට වැටකොටු බැන්දෝ කවරහුද?
හිමිවිම නම් පෝරුමස්තකාරූඪ වීමෙන් ජයපැන් බොන ජයග්‍රහණයක් යැයි සිතනවිටම, ඒ හිමිවීම තුළම අහිමිවීමේ වේදනා ,ඉකිගැසුම් වන බවට ඔබ දනවන්නේ එක වැකියකින්
“හිමිවීම හිත ඉරන දිනයකුත් එනවා”
බුදු දහමට අනුව නම් ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. එය එසේවන්නේ ප්‍රියයන් හා එක්වීම නිසාවෙන්මය.
ඉතා සරල ජනකවියකින් ධර්මයේ ගැඹුරු තැනක නවතිනවාක් මෙන් ඔබේ සරල බස්වහර අප නවතයි.
දෙනි පුරා, නිල් කැලේ
පිපෙන අතු පුරවලා.
මල් බිමට හැලෙන ලෙද
හිරුට දුක කොඳුරලා.
නුඹත් මම අපි නොවෙන
තැනක අපි නැවතිලා.
බලා ඉමු ඉසිඹුවක්
හිමිවීම………..
හීනයට පවරලා
හිරුට පිපෙන මල් ඉන්ම පීඩාවටද පත්ව මියයන හැටි ඔබේ චාම් කාව්‍යෝක්තියට නතුවන අයුරු, පතිපතිනි සම්බන්ධයක අමිහිරි අත්දැකීම්ද පාඨකයාට දනවයි. පිරිමි ස්ඵර්ශයකින් ජීවිත මිහිර විඳ විකසිත වන කතක තව තැනකදී ඒ දෘඪ ග්‍රහණයෙන්ම පීඩාවට පත්ව අසරණව බිම වැටෙන තැන් කොපමණ වෙද?
දෙදෙනෙකු “අපි” නොවී දෙතැනක සිටියෙන්, සම්භෝගය සිහිනයක් පමණකි.
ඒත් හිමි වී අහිමිවීමට වඩා හීනයක ආදරෙන් රැඳීමට හැකිවීම හෝ සුයාමයක්මය.
මාළුවන් ගගේ උඩු
සැඩවරට පෙම් බැඳී
සොයා යන උස් තැනක
අවසානයක් රැදී
ඛේදයන් සඟවමින්
ගලා යන ලෙස නදී
වේදිතය විඳගැනුම
ප්‍රේමයයි නම් ලදී.
ඔබ කවිය ගෙනයන රිද්මය සැබැවින්ම මාළුවකු ඉල්පෙමින් ගිලෙමින් වරල් සලමින් දිය මත සිහින් රේඛා මවමින් යන පරිදිය.
කුඩා ගල් කැට පහරකින් රිද්මය වෙනස් කරන අයුරෙන් ඔබට ඇවැසි තැන රිද්මය බිඳීමටද ඔබ පසුබට නොවෙයි.
සාගරවාසී මත්ස්‍යයින්ගෙන් සැමන් හා ස්ටීල්හෙඩ් මාලුන්ගේ චර්‍යාව පුදුමාකාරය. එය මිනිස් චර්‍යාවන්ට සමාන බව මවිතයෙන් කියැවීමි.
සැමන් මාලුවා මිරිදියේ ඉපිද මුහුදේ වැඩී බිත්තර දැමීමට බොහෝ දුර බැහැර උඩුගං බලා පිහිනා තමා උපන් තැනටම යන්නේය.
ගැහැණියක දරුවන් ලැබීමට මව් නිවසට යන්නාක් මෙනි. ඇතැම් මත්ස්‍යයෝ දිවිය අවසන් කරන්නටද
මුහුදෙන් වෙරළට පිහිනා සිය උපන්බිමටම එති. විප්‍රවාසී බෝ මිනිසුන්ද උපන් බිමේ වැළලෙන්නට ප්‍රාර්ථනා නොකරන්නෝද?
ඉදින් මේ අනන්ත වේදනා දරා ගංගාවෝ සයුරටම ගලත්. ඒ හා එක්ව තම අනන්‍යතාවයද මෝයකටකදී පරිත්‍යාග කරන්නේ විවා දිවියක බැඳී “අසවල්.මහත්මිය” වන කාන්තාවන් පරිද්දෙන්ම නොවන්නේදැයි මම සිතමි.
ඉන්දියානු සංගීතයට මෙන්ම සිනමාවටද මම මහත්සේ පෙමිකරමි.
1913 දී “රාජා හර්ශ්චන්ද්‍ර” නිහඬ සිනමාපටයෙන් ඇරඹී අද වනවිට මහා විශාල කර්මාන්තයක් බවට පත් වී ඇති ඉන්දියානු සිනමාව තුළ මා හද බැඳගත් සිනමා ශිල්පීන් අපමණය. යශ් රාජ් ඉන්දියානු සිනමාව හරහා ඉන්දීය තරුණයා වෙනස්කළ ආකාරය විශ්වාස කිරීමටද අපහසූය. එය ඉදිරියට ගෙනයාමට සංජේ ලීලා බන්සාලිගේ දායකත්වය හිමාලය සේමයැ.
ඔහුගේ සිනමා කෘතියකින් ඉන්දියාව පිළිබඳව අඳින රූපය ඉතා විශාලය. යශ් ගැන මෙන්ම බන්සාලි ගැනද ලෝකය පුරාද, ධවල මන්දිරයෙන්ද කතා ඇසෙන්නේ එනිසාය.
අපේ සිනමාව පමණක් නොව නවකතාවද, ගීතයද, කවියද තවම සොයන්නේද, සිරවී ඇත්තේද 1917 බව බොහෝදෙනාට නොපෙනීමද අභාග්‍යයක් යැයි සිතමි.
මෙහි අවසන් කොටස කියවාගෙන යද්දී මා ඉදිරියේ බන්සාලිගේ දේව්දාස් ද, Francis Coppola ගේ අති විශිෂ්ට සිනමා කෘතිය The GODFATHER “ ද දිස් වී. දේව්දාස් ආදර සුවඳ ඉවකළ පාරෝ ඔහුගේ ආදර නිජබිමයි. අවසන් හුස්ම හෙළන්නට ඔහු සිය නිජබිම සොයා අර දුම්රිය ස්ථානයෙන් බැස අශ්ව කරත්තයෙන් යන ගමන ඔබට මතක ඇතැයි සිතමි. ඇගේ දෑස නොදැකම ඔහු මියෙන මොහොත මේ සැමන් මාලුවෙකුගේ උඩුගං බලා පිහිනා යාමම නොවේදැයි මම සිතමි.
යශ් රාජ් අමිතාබ් භච්චන් නම්.නළුවා “ANGRY YOUNG MAN”නම් චරිතයෙන් මුදවා ඉන්දීය කාන්තාව පතන ප්‍රේමවන්තයා බවට පත්කළ “කභි කභි” සිනමාපටය ඉන්දීය තාරුණ්‍යයේ චින්තනය වෙනස්කළ බව සැබැවි.
බන්සාලිද දේව්දාස් චරිතය ඔස්සේ එවිට සිනමාව ඔස්සේ සමාජයේ වර්ධනය වෙමින් පැවතුණ ක්‍රියාදාම සටන්කාමී ප්‍රේමවන්තයා
පරිත්‍යාගශීලී අහිංසක ප්‍රේමවන්තයෙකු කිරීම තුළින් දේව්දාසලා දස දහස් ගණනක් බිහිකරන්නට ඇත. අපේ සිනමා කරුවන් එවන් වෙනසක් කරන්නට උත්සාහ නොදරන්නේ මන්ද? තාරුණ්‍යයේ චින්තනයට බලපෑම් කළයුත්තේ ඔහු අවුස්සා සටනට කැඳවාගන්නටම පමණයැයි සිතන නිර්මානැකරුවන්ට අනුකම්පා කරමි.
ඉස්සර නම් අඩුම ගානේ “විජේ” මෙන් කොණ්ඩය හදන, ගාමිණී ඇලෙක්ස් මෙන් ඇවිදින, රොබින් ටෝනි මෙන් කතාකරන කොල්ලන් හෝ සිටියා මතකය. දැන් කොල්ලන්ට අනුකරණය කරන්නටද චරිතයක් නැති තරමටම බංකොලොත් දැයි මට හිතෙන හැටිද? ඇත්තටම එහෙමද?
අනුකරණය කරන්නටවත් වීරයකු නැතිවීම කොතරම් අභාග්‍යයක්ද? The Godfather සිනමාපටයද ඉතාලියෙන් ඇරඹී පරම්පරා දෙකකට පසු එහිම ඛේදාන්තයකට පත්වෙන අයුරු පාඨකයාට සිහිපත් කරමි.
විටෝ කොරලියොන් ආරම්භ කළ ඉතාලි ඇමෙරිකානු මාෆියාව ඔහු බාල පුතු මයිකල් කොරලියොන්ට බාරවේ.ඔහුගේ දරුවන් අනන්‍යතාවය සඟවා වැඩෙනමුත් සතුරාගේ ඇසට ලක්වේ. ඉතාලියේ මංගල උත්සවයකදීම ඔහුගේ රූබර දියණිය වෙඩිපහරට ලක්ව ඔහු දෑත මතම මියයන මොහොතේ බොහෝ මිනිසුන්ගේ ජීවිතය තීන්දු කළ “Godfather” කෙනෙකුගේ විලාපය අපට නැවත නැවත නොඇසෙන්නේද? කම්පනය නොවන්නේද? උපන්බිම සොයා ගිය සැමන් මාළුවකු මෙන් මයිකල් කොරලියොනො ඉතාලියට ගිය ගමන ඛේදාන්තයක් විය.
මේ ඔස්සේ පොතක් ලිවීමට කාරණා සිහියට නැගුණද මම නවතිමි. වේදිතය හා විඳුම එකමයැයි කවරකු හෝ කියා තිබුණි.
ඔබ එය පුනරුත් කළාදැයි සිතීමි. “වේදිතය” තෙයාකාර බව දහම කියයි. රාගය(ඇලීම) ද්වේෂය(ගැටීම) හා උපේක්ෂාව(මධ්‍යස්ථ බව) අපිද ඒ සියල්ල විඳ උඩුගංබලා ගිය මත්ස්‍යයෙකු පරිද්දෙන් අවසන උපේක්ෂාවෙන් දරාගන්නෝ නොවෙම්ද?
සහෘද සිතේ ඉසියුම්ම තැන් ග්‍රහණය කරගැනිමට ඔබට ඇති ශක්‍යතාවය ඇතැම් විට මා විශ්මයට පත් කරයි.
බරසාර නැති ඔබේ කාව්‍යෝක්තිය ,මානව හැඟීම් සුළැඟිලි තුඩ යටින් දිවෙන කේශනාලිකාවකින් ගෙනගොස් හදවතට වැද එහි බිත්ති ප්‍රකම්පනය කරන අයුරු විඳීම අපූර්ව අත්දැකීමකි. මා අතිශයෝක්තියක් නොගයන බවට ඔබේ රසික පිරිස සාක්ෂිවනු නොඅනුමානය.
තමාරා ජයතිලක